පිට පිට සිව්වන වරටත් පාසල් ක්‍රිකට් ශූරතාවය මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට !!

April 22, 2022
පිට පිට සිව්වන වරටත් පාසල් ක්‍රිකට් ශූරතාවය මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයට !!

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩ⁣යේ Tier A කොටසේ අවසන් මහා තරඟය ඊයේ (20) කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. අවසන් මහා තරඟයේදී ශූරතාව සඳහා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරඟ වැදුණි.

මෙම දිනවල කොළඹ ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරඟය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර සුළු ප්‍රමාදයකින් අනතුරුව තරඟය පෙරවරු 10.30 ⁣ට පමණ ආරම්භ කිරීමට හැකි විය. ප්‍රමාදය හේතුවෙන් තරඟයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සිමා කෙරුණ අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ.

ශාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ශෙවොන් ඩැනියෙල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 80ක් රැස් කිරීමට සමත් විය. මැද පෙළ ශක්තිමත් කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 42ක්ද මුදිත ලක්ෂාන් ඉක්මන් ලකුණු රැස් කිරීමක නිරත වෙමින් නොදැවී ලකුණු 34ක්ද ලබා ගත්තේය. පන්දු යැවීමේදී මල්ෂ තරුපති කඩුළු 4ක් දවා ගැනීමට සමත් වූ අතර කල්ප නෙත්සර සහ හංසමාන දි සිල්වා අතරේ කඩුළු 2 බැගින් බෙදී ගොස් තිබුණි. ඒ අනුව නියමිත පන්දුවාර 47 අවසානයේ ශාන්ත ජෝසප් විද්‍යාලය කඩුළු 9ක් දැවී ලකුණු 257ක් රැස් කිරීමට සමත් වූහ.

ලකුණු 258ක ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනිම ඇරඹමින් රිච්මන්ඩ් විද්‍යාලයේ විශාර ප්‍රනාන්දු සහ තරිඳු නිර්මාල් පිටියට පිවිසි නමුත් ඔවුන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට අපොහොසත් විය. රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන්ද දස්කම් දැක්වූ මල්ෂ තරුපති පිත්තෙන්ද සාර්ථක වෙමින් හුදෙකලා සටනක නිරත වූ අතර ඔහු දැවී යන විට රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 62ක්. ඒ හැරුණු කොට වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවටවත් ළඟා වීමට නොහැකි වූ බැවින් රිච්මනඩ් විද්‍යාලයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 151ක් පමණයි.

පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ සහ දේශාන් සෙනෙවිරත්න කඩුළු 3 බැගින් බෙදී හෙලීමට සමත් වූහ. ඒ අනුව අවසන් මහා තරඟය ලකුණු 106කින් ජය ගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

තරඟයේ සාරාංශය

ශාන්ත ජෝසප් විද්‍යාලය 257/9 (47)

ශෙවොන් ඩැනියෙල් 80, සදීෂ් ජයවර්ධන 46, දුනිත් වෙල්ලාලගේ 42, මුදිත ලක්ෂාන් 34*, මල්ෂ තරුපති 4/50, කල්ප නෙත්සර 2/40, හංසමාන දි සිල්වා 2/48

රිච්මන්ඩ් විද්‍යාලය 151 (41.3)

මල්ෂ තරුපති 62, දුනිත් වෙල්ලාලගේ 3/18, දේශාන් සෙනෙවිරත්න 3/26