ගාල්ල රිච්මන්ඩ් – කොළඹ ශාන්ත ජෝසප් අවසාන මහා තරඟයට

April 6, 2022
ගාල්ල රිච්මන්ඩ් – කොළඹ ශාන්ත ජෝසප් අවසාන මහා තරඟයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු කාණ්ඩයේ ටියර් ඒ පාසල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඊයේ (5) පැවත්විණි. ඒ කොළඹ ශාන්ත ජෝසප් සහ කඳාන දි මැසනොඩ් පාසල් අතරත්, කොළඹ මහානාම සහ ගාල්ල රිච්මන්ඩ් පාසල් අතරත්ය.

පසුගිය වසරේත් පාසල් ක්‍රිකට් ශූරතාවය දිනාගත් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය මූලික වටයේදී x කාණ්ඩයේ ප්‍රමුඛයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ක්‍රීඩා කළ සෑම තරඟයක්ම අපරාජිතව ජයග්‍රහණය කරමිනුයි. අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ වෙස්ලි තරඟය පරාජය කරමින් ශාන්ත ජෝසප් පිළ අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමි කරගැනීමට සමත් වුහ.

කඳාන ඩි මැසනොඩ් විද්‍යාලය මූලික වටයේ Z කාණ්ඩයේ දෙවැන්නන් ලෙස අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ තරඟ දෙකක් පමණක් මූලික වටයේදී පරාජය වෙමින්. කෙසේවෙතත් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේදී අපරාජිත නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින් කඳාන ඩි මැසනොඩ් කණ්ඩායම අවසන් පූර්ව වටයේ ස්ථානයක් තමන් වෙනුවෙන් උපයා ගැනීමට සමත් වූහ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම මූලික වටයේදී y කාණ්ඩය නියෝජනය කරමින් තරඟ වැදි අතර ක්‍රීඩා කළ තරඟයන්ගෙන් එක් තරඟයක් හැර අනෙක් සියලු තරඟ ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගනිමින් අර්ධ අවසන් පූර්ව වටය සුදුසුකම් ලබාගත් අතර එහිදී කටුගස්තොට ශාන්ත අන්තෝනි කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට හැකි විණි.

කොළඹ මහානාම විද්‍යාලයී කණ්ඩායම මූලික වටයේදී අපරාජිතව Z කාණ්ඩයේ ප්‍රමුඛයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් හිමි කරගත් අතර අර්ධ අවසන් පූර්ව වටයේදී කොටහේන ශාන්ත බෙනඩික්ට් කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට සිය පාසල වෙනුවෙන් ඉඩක් තබා ගැණීමටද මහානාම සිසුන්ට හැකියාව ලැබුණි.

අවසන් පූර්ව වටයේ කොළඹ ශාන්ත ජෝසප් සහ කඳාන දි මැසනොඩ් පාසල් අතර තරඟය ඊයේ පැවත්වූයේ මග්ගොන සරේ ගම්මාන ක්‍රීඩා පිටියේදීයි. තරඟයේ කාසියේ වාසිය දිනූ ශාන්ත ජෝසප් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරනය කළ අතර ජෝසප් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කඳාන ඩි මැසනොඩ් කන්ඩායම පන්දුවාර 38.1දී සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 138කි.

අශේන් සිල්වා සටන්කාමී ඉණිමක් දියත් කරමින් අගනා අර්ධ ශතකයක් වාර්තා කළ අතර පන්දු යැවීමෙන් ශාන්ත ජෝසප් කණ්ඩායමේ මුදිත ලක්ෂාන් කඩුලු 3ක්, මිතිර තෙනුර කඩුලු 2ක් සහ යෙනුල දෙව්තුස කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ.

ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොළඹ ශාන්ත ජෝසප් කණ්ඩායම පන්දුවාර 27.2දී කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සාර්ථකව පසු කළ අතර තරඟය කඩුලු 5න් ජයගනිමින් අවසාන මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලයට හැකියාව ලැබුණි. ආරම්භක පිතිකරු හිරාන් මතීෂ අගනා ඉණිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 64ක් රැස් කරගත්තේය.

ඩි මැසනොඩ් විද්‍යාලය 138 (38.1)
අශේන් සිල්වා 53, මිතුල් සෙනරත් 23, මුදිත ලක්ෂාන් 3/08, මිතිර තෙනුර 2/22

ශාන්ත ජෝසප් විද්‍යාලය 140/5 (27.2)
හිරුන් මතීෂ 64*, දුනිත් වෙල්ලාලගේ 37, තරීන් සන්කෙත් 1/08

19න් පහළ තරඟාවලියේ අනෙක් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟය කොළඹ මහානාම විද්‍යාලයීය කණ්ඩායම සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම් අතර කොලඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී ඊයේ පැවත්විණි. තරඟයේ කාසියේ වාසිය රිච්මන්ඩ් කණ්ඩායම හිමි කරගත් අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කොට තිබුණි.

රිච්මන්ඩ් කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 202ක් රැස් කරගත් අතර තරින්ද නිර්මාල් නැවතත් අර්ධ ශතකයක් රැස් කරගැනීමට සමත් විය. මහේෂ දි සිල්වා ලකුණු 31ක් රැස් කරගත් අතර පන්දු යැවීමෙන් මහානාම කණ්ඩායම වෙනුවෙන් මහානාම නායක දෙවිඳු කැකිරිදෙණිය කඩුලු 5ක්ද දෙවිඳු රණතිංග කඩුලු 2ක් බැගින්ද දවාගැනීමට සමත් විය.

ලකුණු 203ක ඉලක්කයක් හඹාගිය මහානාම ඉණිම ලකුණු 63ට සීමා කිරීමට රිච්මන්ඩ් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණු අතර තරින්ද නිර්මාල් කඩුලු 4ක් සහ කල්ප නෙත්සර කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ. මේ අනුව තරඟය ලකුණු 139න් ජයග්‍රහණය කිරීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට හැකියාව ලැබුණි.

රිච්මන්ඩ් විද්‍යාලය 202 (49.5)
තරින්ද නිර්මාල් 59, මහේෂ දි සිල්වා 31, දෙවිඳු කැකිරිදෙණිය 5/21, දුවිඳු රණතුංග 2/29

මහානාම විද්‍යාලය 63 (22.4)
විහඟ යෙශාන් 20, තරින්ද නිර්මාල් 4/21, කල්ප නෙත්සර 3/14, ශැරොන් අභිෂේක් 2/10