කණ්ඩායම් තරග ඉසව්වලදී ශ්‍රි ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් !!

May 12, 2022
කණ්ඩායම් තරග ඉසව්වලදී ශ්‍රි ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම් !!

මාලදිවයිනෙහිදී පැවැත්වෙන දකුණු ආසියානු කණිෂ්ඨ හා ආධුනික මේස පන්දු තරගාවලියේ කණ්ඩායම් තරග ඉසව්වන්හිදී පදක්කම් හිමිකරගැනීමට ශ්‍රි ලංකාව සමත් වී ඇත. ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ පිරිමි හා කාන්තා කණ්ඩායම් ද්විත්වයම අදාල ඉසව්වෙහි රිදී පදක්කම් දිනාගනිද්දී වයස අවුරුදු 15න් පහළ පිරිමි හා කාන්තා කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.

ඊයේ පැවති කණ්ඩායම් ඉසව්වෙහිදී ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ පිරිමි කණ්ඩායම නේපාලය (3/1), පාකිස්තානය (3/0) හා මාලදිවයින (3/0) ලෙසින් පරාජයට පත් කළ නමුත් බංග්ලාදේශය හමුවේ (2/3) ලෙසින් පරාජයට පත් වීම හේතුවෙන් රිදී පදක්කම හිමිවිය. ප්‍රබල ඉන්දීය කණ්ඩායම මෙම වයස අවුරුදු 19න් පහළ ඉසව්ව වෙනුවෙන් එක් නොවීය.

ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මූලික වටයේදී ඉන්දියාව (0/3) හමුවේ පරාජයට පත් වුවද බංග්ලාදේශය (3/1) ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. එහිදී මාලදිවයින් කණ්ඩායම (3/2) ලෙසින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවද ඉන්දීය කණ්ඩායම(0/3) හමුවේ නැවත වරක් පරාජයට පත් විය.

පිරිමි වයස අවුරුදු 15න් පහළ ආධුනික ඉසව්වෙහි මූලික වටයේදී ශ්‍රි ලංකා කණ්ඩායම මාලදිවයින(3/0) පරාජයට පත් කළ අතර බංග්ලාදේශය (0/3) හමුවේ පරාජයට පත් විය. අවසන් පූර්ව වටයේදී ඉන්දීය කණ්ඩායම (0/3) හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් ලෝකඩ පදක්කම ශ්‍රි ලංකාවට හිමි විය. කාන්තා වයස අවුරුදු 15න් පහළ ආධුනික ඉසව්වෙහි මූලික වටයේදී පාකිස්තානය (3/0) පරාජයට පත් කලද මාලදිවයින (1/3) හමුවේ පරාජයට පත් විය. අවසන් පූර්ව වටයේදීද නේපාලය (1/3) හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් ලෝකඩ පදක්කම ශ්‍රි ලංකාවට හිමි විය