බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව පරදී….

තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ හොකී පිරිමි තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය බංග්ලාදේශයත් සමග ඊයේ දින (10) පැවැත්විණි.

තරගාවලියේ පළමු තරගයේදී 5-2ක් ලෙස සිංගප්පූරුව පරාජය කිරීමට සමත් වූ ශ්‍රී ලංකාවට සිය දෙවන තරගයේදී බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වන්නට සිදුවිය. ඒ බංග්ලාදේශ පිලට ගෝල 3-1ක් වශයෙන් ජයග්‍රහණයක් අත්කර දෙමින් ය.

තරගයේ පළමු කාර්තුවේදී දෙපිලෙන් එක පිලක්වත් කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට සමත් නොවූවත් දෙවන කාර්තුවේදී ගෝල දෙකක් ම රැස්කර ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමට බංග්ලාදේශ පිලට හැකි විය.

ශ්‍රී ලංකා පිල තරගය තුළ රැස්කර ගත් එක ම ගෝලය තෙවන කාර්තුවේදී රැස් කර ගැනීමට සමත් විය. ඒ විපුල ධනුෂ්ක ප්‍රනාන්දු විසින් ය.

තෙවන කාර්තුවේ නිමාවත් සමග ගෝල 2-1 ක් ලෙස සඳහන් වුවත් සිව්වන කාර්තුවේදී බංග්ලාදේශය යළිත් ගෝලයක් වාර්තා කළේ ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමමින් ය. ඒ බංග්ලාදේශය ගෝල 3 – 1 ක් ලෙස තරගය ජය ගනිමින් ය.

ශ්‍රී ලංකාව තරගාවලිය තුළ මුහුණ දෙන තෙවන තරගය හෙට දින (12) ඉන්දුනීසියාව සමග පැවැත්වීමට නියමිතයි.

දැනට මුහුණ දුන් තරග අනුව, ශ්‍රි ලංකාව අයත් ‘බී’ ඛාණ්ඩයේ පෙරමුණ බංග්ලාදේශයට හිමි වී ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙවන තැනයි. ‘ඒ’ ඛාණ්ඩයේ පළමු හා දෙවන ස්ථාන පිලිවෙලින් ඕමානයට හා උස්බෙකිස්තානයට හිමි වී ඇත.

(Visited 34 times, 1 visits today)

You Might Be Interested In

LEAVE YOUR COMMENT

Your email address will not be published.