ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා හොකී පිල නම් කෙරේ.

19වන ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරග සඳහා සුදුසුකම් ලබන රටවල් තේරීම සඳහා පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන මෙරට ජාතික හොකී පිල ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව විසින් නම් කර ඇත. ඒ කොළඹ හත රීඩ් මාවතේ පිහිටි කෘතිම ක්‍රීඩාංගණයේදී පැවැත් වූ පුහුණු සංචිතයේදී ක්‍රීඩකයන් විසින් පෙන්නුම් කරන ලද දක්ෂතා පදනම් කරගෙන ය.

මැයි මස 05වන දා සිට 15වන දා දක්වා තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්වෙන සුදුස්සන් තේරීමේ හොකී තරගාවලියට රටවල් 9ක් සහභාගි වීමට නියමිත අතර එම රටවල් ‘ඒ’ සහ ‘බී’ යන ඛාණ්ඩ දෙක යටතේ මුලික තරග වට සඳහා පෙනි සිටිමට නියමිතව පවති.

එහිදී ඕමානය, තායිලන්තය, හොංකොං, උස්බෙකිස්ථානය සහ කසකස්ථානය යන රටවල් පහ ‘ඒ’ ඛාණ්ඩයට ද
ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව යන රටවල් හතර ‘බී’ ඛාණ්ඩයට ද අයත් වේ.

සුදුස්සන් තේරීමේ තරගාවලිය තුළ වැඩි දක්ෂතා පෙන්වන රටවල් හයක් (06) 19වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැනීමට ආසියානු හොකී සම්මේලනය තීරණය කොට ඇත.

සුදුස්සන් තේරීමේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික හොකි පිල ක්‍රීඩකයන් 18කුගෙන් සමන්විත අතර කණ්ඩායම් නායකත්වය තරංග ඉරෝෂ් ගුණවර්ධන දරණ අතර එහි උප නායකත්වය හිමිව ඇත්තේ තරිඳු කුමාර හේන්දෙණියටයි.

මෙම ජාතික සංචිතයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයන් දස දෙනෙකුම (10) ඇතුළත් වී සිටිම සුවිශේෂි ය. ඊට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයෝ 05ක් ද කොළඹ, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ක්‍රීඩකයෝ 01 බැගින් ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ජාතික හොකී කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ගාල්ල සාන්‍ත ඇලොව්ෂියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ලක්ෂාන් සඳරුවන්, කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය බෝධික ඩයස්, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය භාතිය ද අල්විස් සහ මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චතුරංග චන්ද්‍රසේන සහ සමීර වීරසූරිය යන ක්‍රීඩකයෝ මෙවර එක්ව සිටිති.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මීට පෙර නායකත්වය ලබාදී ඇති ඩේමියන් නිලන්ත ද සිල්වා සහ සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ මෙවර ද ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කිරීමට නියමිතයි.

ශ්‍රි ලංකා ජාතික හොකි කණ්ඩායම

1.තරංග ඉරෝෂ් (නායක) 2.තරිඳු කුමාර හේන්දෙණිය (උප නායක)
3.ධම්මික ප්‍රභාත් රණසිංහ
4.රජිත ඩිලාන් කුලතුංග 5.අනුරාධ සුරේෂ්
6.කුසල් හේෂාන් තිලකසිරි
7.චතුරංග චන්ද්‍රසේන 8.සඳරුවන් ප්‍රියලංකා සුදුසිංහ
9.ඩේමියන් නිලන්ත ද සිල්වා
10.සජිත් ශමින්ද කොස්තා
11.ශෙරාන් නිමංක ප්‍රනාන්දු
12.චමල්ක රුක්ෂාන් ප්‍රනාන්දු
13.ප්‍රමෝද උදයශාන් ප්‍රනාන්දු
14.විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු
15.භාතිය ද අල්විස් 16.ලක්ෂාන් සඳරුවන්
17.බෝධික ඩයස්
18.සමීර වීරසූරිය

(Visited 117 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin