ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 300 වන ටෙස්ට් තරගය!!!

March 3, 2022
ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 300 වන ටෙස්ට් තරගය!!!

වසර 40ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රි ලංකා කණ්ඩායම හෙට(4) දිනයේදී සිය 300වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය. ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා තැබූ ක්‍රීඩකයන් අතර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් පෙරමුණෙහි රැදී සිටියි.

හෙට දිනයේ මොහාලිහිදී පැවැත්වෙන ඉන්දු ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගය ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ක්‍රීඩා කරන 100වන ටෙස්ට් තරගය බවට පත් වීමද සුවිශේෂීය. ශ්‍රි ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් දිනා වසර 3කදි පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වීම සුවිශේෂීය. ටෙස්ට් වරම් හිමිකරගත් දිනයේ පටන් සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායමට වසර 20ක්ද නවසීලන්ත කණ්ඩායමට වසර 26ක්ද බලාසිටීමට සිදුවී ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව යන රටවල් තුළදී හැර අන් සියලුම රටවල්හිදී ටෙස්ට් තරග ජයග්‍රහණයක් හිමිකරගැනීමට සමත් වී ඇත. එමෙන්ම දේදුනු දේශය තුළදී ටෙස්ට් තරගාවලියක් ජයගත් එකම ආසියාතික රට වනුයේද ශ්‍රි ලංකාව වීම සුවිශේෂීය. වසර 40ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ක්‍රීඩා කළ ටෙස්ට් තරග අතුරින් සුවිසල් මතක රැදුනු තරගයන් හා තරගාවලි රැසක් ඇත.

මුරලිදරන් දවාගත් ටෙස්ට් කඩුලු 800, ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 952ක දැවැන්ත ලකුණු පුවරුව, සංගා මහේල දකුණු අප්‍රිකාවට එරෙහිව ගොඩ නැගූ ලකුණු 624ක වාර්තාගත සබදතාවය වැනි ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් ගණනක් ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවට ඇතුළත්ය. එලෙසම ලාහෝර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වැනි දුක්මුසු සිදුවීම්ද ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ සිදුවී ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩ කොට ඇති ටෙස්ට් තරග 299 අතුරින් වැඩිම තරග ගණනක් ක්‍රීඩා කොට ඇත්තේ පාකිස්තානයට එරෙහිවය. ශ්‍රි ලංකා කණ්ඩායම පාකිස්තානය සමගින් ටෙස්ට් තරග 55ක් ක්‍රීඩා කොට ඇති අතර ඉන් තරග 16ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. ශ්‍රි ලංකා කණ්ඩායම වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ප්‍රමාණයක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කොට ඇති අතර ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කළ තරග 22න් 17ක්ම ජයගෙන ඇත. හෙට දිනයේදී සිය 300වන ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහිව තරග වදින ශ්‍රි ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ තරග අතුරින් ජයගෙන ඇත්තේ තරග 7ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම එක් එක් රට වලට එරෙහිව ක්‍රීඩා කොට ඇති ටෙස්ට් තරග

ඕස්ට්‍රේලියාව
තරග 31
ජය 4 / පරාජයන් 19

බංග්ලාදේශය
තරග 22
ජය 17 / පරාජයන් 1

එංගලන්තය
තරග 36
ජය 8 / පරාජයන් 17

ඉන්දියාව
තරග 44
ජය 7 / පරාජයන් 20

නවසීලන්තය
තරග 36
ජය 9 / පරාජයන් 16

පාකිස්තානය
තරග 55
ජය 16 / පරාජයන් 20

දකුණු අප්‍රිකාව
තරග 31
ජය 9 / පරාජයන් 16

බටහිර ඉන්දීය කොදෙව්
තරග 24
ජය 11 / පරාජයන් 4

සිම්බාබ්වේ
තරග 20
ජය 14 / පරාජයන් 0