නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට !!!

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද දිනයේදී නිමාවට පත් වූයේ තරග 1-1ක් ලෙසින් සමතත්වයෙනි. අද දිනයේදී ලද මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමට හැකිවිය.

මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගර් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 364ක් රැස්කිරීමට සමත් විය. නවක ක්‍රීඩක සරෙල් අර්වී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 108ක් රැස්කිරීමට සමත් වූ අතර ඒඩ්න් මක්‍රම් ලකුණු 42කින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ නංවන්නට දායක විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් නීල් වැග්නර් කඩුලු 4ක් හා මැට් හෙන්රි කඩුලු 3ක් බිදහෙලීය.

පිළිතුරු වශයෙන් සිය පළමු ඉනීම ඇරඹූ නවසීලන්ත කණ්ඩායම ලකුණු 300කට ආසන්න ලකුණු පුවරුවක් කරා ගෙන යාමට ඩැරල් මිචෙල් හා කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සමත් විය. ඩැරල් මිචෙල් ලකුණු 60ක් රැස්කරද්දී ඔවුන් දෙදෙනා අතර හයවන කඩුල්ලට ලකුණු 133ක් එක් කළහ. නවසීලන්ත කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 293ක් රැස්කරද්දී අගනා නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් පන්දු 156කදී හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 120ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් කාගිසෝ රබාඩා කඩුලු 5ක් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිදහෙලීය.

ලකුණු 71ක ඉදිරියක් ලබාගනිමින් සිය දෙවන ඉනීම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ඉනීමේදීද ලකුණු 350 සීමාව ඉක්මවන්නට සමත් විය. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කඩුලු රකින ක්‍රීඩක කයිල් වැරේන් පන්දු 186ක් තුළ හතරේ පහර 16ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 136ක් රැස්කිරීමට සමත් විය. කාගිසෝ රබාඩා හතරේ පහර හා හයේ පහර 4බැගින් එල්ල කරමින් වේගවත් ලකුණු 47ක් දකුණු අප්‍රිකානු දෙවන ඉනීමට එක් කළේය. පන්දුවාර 100 අවසානයේදී කඩුලු 9කට ලකුණු 354ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට දකුණු අප්‍රිකාව තීරණය කළේ ලකුණු 426ක දැවැන්ත ඉලක්කයක් නවසීලන්ත පිළට ලබාදෙමිනි.

තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ඉලක්කය හබාගිය නවසීලන්තය කඩුලු 4කට ලකුණු 94ක් රැස්කොට සිටියහ. නමුත් අද දිනයේදී ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් නවසීලන්ත දෙවන ඉනීම ලකුණු 227කට සීමා කරන්නට විය. නවසීලන්තය වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ හතරේ පහර 13ක් සමගින් ලකුණු 92ක් රැස්කරද්දී ටොම් බ්ලන්ඩෙල් ලකුණු 44ක් රැස්කළේය. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් රබාඩා, ජන්සෙන් හා මහරාජ් කඩුලු 3 බැගින් බිදහෙලීය. තරගයේ වීරයා ලෙසින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ කාගිසෝ රබාඩා සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් මැට් හෙන්රි සම්මානයට පාත්‍ර විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

දකුණු අප්‍රිකානු පළමු ඉනීම : 364/10
සරෙල් අර්වී 108, ඒඩ්න් මක්‍රම් 42, ඩීන් එල්ගර් 41
නීල් වැග්නර් 4/102, මැට් හෙන්රි 3/90

නවසීලන්ත පළමු ඉනීම : 293/10
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්* 120, ඩැරල් මිචෙල් 60, හෙන්රි නිකොල්ස් 39
කාගිසෝ රබාඩා 5/60, මාර්කෝ ජන්සෙන් 4/98

දකුණු අප්‍රිකානු දෙවන ඉනීම : 394-9d
කයිල් වැරේන්* 136, කාගිසෝ රබාඩා 47, රසී වැන් ඩර් ඩුසේන් 45
කයිල් ජෙමීසන් 2/81,නීල් වැග්නර් 2/81

නවසීලන්ත දෙවන ඉනීම : 227-10
ඩෙවෝන් කොන්වේ 92, ටොම් බ්ලන්ඩෙල් 44, ඩැරල් මිචෙල් 24(72)
කාගිසෝ රබාඩා 3/46, කේෂව් මහරාජ් 3/75, මාර්කෝ ජන්සෙන් 3/63

(Visited 60 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin