ඔලිම්පික් රන් පදක්කමට පාර කියා දුන් වීරවරිය

August 8, 2021
ඔලිම්පික් රන් පදක්කමට පාර  කියා දුන් වීරවරිය

හැන්ස්ල් පාච්මන්ට් ( Hansle Parchment)පසුගිය දිනවල ලෝකයේම අවධානය දිනාගත්තේ මීටර් 110 පිරිමි කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් වීමත් සමඟයි. ඔහු ඒ ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ස්වේච්ඡාවෙන් සේවය ලබාදෙන ( volunteer) තරුණියක් ඔහුට මග පෙන්වූ නිසා බව ඔබ පිළිගන්නවා ද??

පාච්මන්ට් හට තම ඉසව්වේ අවසන් පූර්ව වටය අහිමි නොවී බේරුණේ මේ පුංචි වීරවරිය නිසයි. ඔහු තම ඉසව්වට සහභාගී වීම සඳහා ඔලිම්පික් ගම්මානයෙන් පිටත්වන බසයක නැගී ගමන් කර තිබුණා. සංගීතය රස විඳිමින් ගමන් කළ නිසා බස් රථයේ ගමනාන්තය පිළිබඳ කියවන තොරතුරු ඔහුට ඇසී තිබුණේ නැහැ

ටික දුරක් ගමන් කළ පසු මෙතෙක් කල් තමන් ගමන්ගත් මාර්ගයට වඩා වෙනස් මගක බස් රථය ගමන් ගන්නා බව ඔහුට වැටහුණි. බස් රථය ගමනාන්තයට පැමිණි අවස්ථාවේදී ඔහුට දැනගන්නට ලැබුණේ එය වෙනත් තරග ඉසව්වක් පැවැත්වෙන ස්ථානයක් බවයි. වහාම තම කණ්ඩායමේ කළමනාකරු ඇමතූ ඔහුට ලැබුණු පිළිතුර වූයේ, හැකි ඉක්මනින් නැවත ඔලිම්පික් ගම්මානයට පැමිණ එතනින් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානයට පිටත්ව යන ලෙසයි.

නැවත ඔලිම්පික් ගම්මානයට යාම හැර වෙනත් පිළිසරණක් සොයමින් සිටි පාච්මන්ට් හට නෙත ගැටුණේ කඩිමුඩියේ තම රාජකාරිය කරමින් සිටින ෆියෝනා ය. තමන්ට සිදු වූ සිදුවූ අකරතැබ්බය ඔහු කඩිනමින් ෆියෝනා ට විස්තර කළා. ඇය යුහුසුළුව ඔහුට මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ස්ථානය කරා යාමට කුලී රථයක් සූදානම් කර දුන්නා පමණක් නොව ඒ සඳහා වැය වන මුදල් ද ඔහුට ලබාදීමට කටයුතු කළා. තමන් වෙත කළ උපකාරයට වචනයෙන් ස්තුතිවන්ත වෙමින් පාච්මන්ට් මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය වෙත ගිය අතර එහි පෙර පුහුණුවීම් කටයුතු සඳහා ද නියමිත වේලාවට සහභාගි වුණා.

අවසන් පූර්ව තරගය ෆියෝනා ගේ මග පෙන්වීම යටතේ සාර්ථකව අවසන් කළ පාච්මන්ට් අවසන් මහා තරගයේ දී ඔලිම්පික් රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වුණා. තරගයෙන් පසුව තමන් වෙත අසීරුම මොහොතේ නොපැකිලව ඉදිරිපත්ව උපකාර කළ තරුණිය සොයා යෑමට පාච්මන්ට් කටයුතු කළා.

ඔහු ඇය සොයා යන ගමන සෙල්ෆි වීඩියෝවක් හරහා පටිගත කිරීමට ද පාර්ච්මන්ට් කටයුතු කළ අතර, “ඔබට මාව මතකයි ද?” යැයි පාච්මන්ට් විමසූ විට ” ආහ් ඔව්, එදා වෙලාවට ගියාද” ඇය පෙරළා විමසා සිටියා. “ඔව් මම තරගයට ගියා මම අද ආවේ ඔයාට යමක් පෙන්වන්න” කියූ පාච්මන්ට් තමන් දිනූ ඔලිම්පික් රන් පදක්කම ෆියෝනා අත තබා පවසන්නේ “මම මේ රන් පදක්කම දිනා ගත්තේ ඔබ නිසා. ඔබට ස්තුතියි” කියා පවසන්නේ ෆියෝනා දිලිසෙන දෑසින් ඒ පදක්කම දෙස බලනා අතරතුරදී ය.

“මේ බලන්න මම ඔබට අපේ රටේ ටී ෂර්ට් එකක් ගෙනාවා.මම හිතනවා ඒක ඔබේ ගානට ඇති කියලා” පාච්මන්ට් ෆියෝනා ගේ උපකාරය අගය කරමින් කුඩා තිළිණයක් ද ඇයට ලබා දෙනවා. “අහ්, තව දෙයක්. මම එදා ඔයාගෙන් ඉල්ලගත්ත සල්ලි, ඒකත් මම ගෙනාවා” කියමින් යම් මුදල් ප්‍රමාණයක් ද ඇය වෙත ලබා දෙනවා

මේ සියල්ල සතුටින් භාරගන්නා ෆියෝනා සමඟ අවසානයේ පාච්මන්ට් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකිරීම විශේෂත්වයක්.

අසීරු මොහොතක යමෙකුට උපකාර කිරීම මෙන්ම ඒ කළ උපකාරය පසුව අගය කිරීම පිළිබඳව පාඩමක් නැවතත් පාච්මන්ට් සහ ෆියෝනා ලොවටම කියා දී තිබෙනවා.

සුපුන් හෙට්ටිආරච්චි