ඉන්දුනීසියාව හමුවේත් ශ්‍රී ලංකාව පරාජයට…..

19වෙනි ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවැත්වෙන හොකී තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවන තරගය ඊයේ (12) පැවැත්විණි. ඒ ඉන්දුනීසියාවට එරෙහිව ය.

සිය දෙවන තරගයේදී සේ ම තෙවන තරගයේදී ද සාර්ථක වීමට නොහැකි වූ ශ්‍රී ලංකා පිලට ඉන්දුනීසියාව හමුවේ ගෝල 3-1ක් වශයෙන් පරාජයට වන්නට සිදු විය.

තරගයේ ප්‍රථම මිනිත්තු විස්ස තුළ ශ්‍රී ලංකා හොකී පිල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියත් ඉන් පසු ක්‍රියාත්මක වූ ඉන්දුනීසියානු පිල තරගයේ ජය තමා දෙසට හරවා ගැනීමට සමත් වූයේ 20, 41 සහ 43 යන මිනිත්තුවලදී ගෝල රැස්කර ගනිමින් ය. ශ්‍රී ලංකාව රැස්කර ගත් එක ම ගෝලය ලබා ගනු ලැබුවේ සඳරුවන් ප්‍රියලංකා විසින් ය.

සුදුස්සන් තේරීමේ තරගාවලිය තුළ පෙනි සිටි තරග තුන අතුරින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ සිය ප්‍රථම තරගය පමණි. ඒ සිංගප්පූරුවට එරෙහිව ගෝල 5-2ක් වශයෙන් ජයග්‍රහණයක් අත්කර ගනිමින් ය.

කෙසේවෙතත් තෙවන තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකාව සතු වූ ‘බී’ කාණ්ඩයේ දෙවන ස්ථානය ඉන්දුනීසියාවට හිමි විය.

ඒ අනුව බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව පිළිවෙලින් ‘බී’ කාණ්ඩයේ ප්‍රථම හා දෙවන ස්ථාන ලබා ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී ඇත.

‘ඒ’ කාණ්ඩය යටතේ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනිමට හැකි වූයේ ඕමානයට හා තායිලන්තයටයි.

කෙසේවෙතත් සුදුස්සන් තේරීමේ තරගාවලිය තුළ වැඩි දක්ෂතා පෙන්වන රටවල් හයක් (06) 19 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තෝරා ගැනීමට ආසියානු හොකී සම්මේලනය තීරණය කොට ඇති බව ද වාර්තා වේ.

19 වෙනි ආසියානු ක්‍රීඩා උළෙල 2023දී චීනයේදී පැවැත්වීමට නියමිතව පවති.

(Visited 104 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin