National Super Provincial සිව්දින තරගාවලියේ ඊයේ දිනයේදී ආරම්භ වූ තරග තොරතුරු !!!

March 18, 2022
National Super Provincial සිව්දින තරගාවලියේ ඊයේ දිනයේදී ආරම්භ වූ තරග තොරතුරු !!!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super Provincial සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ දිනයේදී ආරම්භ විය. තරගාවලියේ හත්වන තරගය ලෙසින් සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගය වෙනුවෙන් යාපනය කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම තරගබිමට පිවිසි අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ තරගය වෙනුවෙන් මහනුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම තරගබිමට පිවිසියහ.

යාපනය ගාල්ල තරගය
මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ගාල්ල නායක ධනංජය ලක්ෂාන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන යාපනය කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 35 සීමාව ඉක්මවන්නට ගාල්ල පන්දු යවන්නන් ඉඩනොතැබූහ. ඊයේ දිනයට තරගය නතර කරන විට යාපනය කණ්ඩායම පන්දුවාර 77ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 218ක් රැස්කළහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ නවෝද් පරණවිතාන ලකුණු 34ක් රැස්කළේය. පන්දු යැවීමේදී ගාල්ල පිළ වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් ලකුණු 17කට කඩුලු 4ක් දවාගත්තේය.

යාපනය පළමු ඉනීම : 218/9 (77)
නවෝද් පරණවිතාන 34, නිෂාන් මදුෂ්ක 29
සුමින්ද ලක්ෂාන් 4/17, දිල්ෂාන් මධුසංඛ 2/42, චලන ද සිල්වා 2/72

මහනුවර දඹුල්ල තරගය
මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් මහනුවර නායක කමිදු මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලසිත් ක්‍රෝස්පුල්ලේ ලකුණු 42ක් රැස්කොට සිටියදී දැවීගියේය. අනතුරුව ඕෂධ ප්‍රනාන්දු හා කමිල් මිෂාර එක්ව දෙවන කඩුල්ලට ලකුණු 147ක සබදතාවක් ගොඩනගන්නට විය. කමිල් මිෂාර ලකුණු 74කදී දැවී යද්දී ඕෂධ ප්‍රනාන්දු ශතකය පෙනෙන මානයේ ලකුණු 97කට දැවී ගියේය. ඊයේ දිනය අවසානයේදී මහනුවර කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 297ක් රැස්කිරීමට සමත් වද්දී නායක කමිදු මෙන්ඩිස් නොදැවුනු ලකුණු 51ක් රැස්කොට සිටියි.

මහනුවර පළමු ඉනීම : 297/3 (77)
ඕෂධ ප්‍රනාන්දු 97, කමිල් මිෂාර 74, කමිදු මෙන්ඩිස්* 51
මලින්ද පුෂ්පකුමාර 2/80