5-0ට වැඩිය 4-1 ලස්සනයි, ශ්‍රී ලංකාවට අවසන් තරඟයේ තියුණු ජයක් !!

February 21, 2022
5-0ට වැඩිය 4-1 ලස්සනයි, ශ්‍රී ලංකාවට අවසන් තරඟයේ තියුණු ජයක් !!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ පස්වන සහ අවසන් තරඟය අද මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවත්විණි.

තරඟාවලියේ මුල් තරඟ 4ම ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය ගෞරවය උදෙසා අද තරඟ බිමට පිවිසියේ වෙනස්කම් 3ක්ද සමඟින්. ජනිත් ලියනගේ සහ කමිල් මිශාර අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත් අතර ඔවුන් කණ්ඩායමට පිවිසියේ දිනේශ් චන්දිමාල් සහ ධනුෂ්ක ගුනතිලක වෙනුවෙනි. ප්‍රවීන් ජයවික්‍රම ජෙෆ්‍රී වැන්ඩර්සේ වෙනුවෙන් කන්ඩායමට එක් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. මීට පෙර තරඟයේ ඕස්ට්‍රේලියානු නායකයා මැද පෙළ ක්‍රීඩා කළත් අද තරඟයේදී ඔහු නැවතත් ආරම්භක පිතිකරුවෙකු වශයෙන් කටයුතු කළේය. කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉක්මනින්ම ආපසු හරවා යැවීමට දුෂ්මන්ත චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම සමත් වූ අතර ඉන් පසු පිටියේ එක් වූ Josh Inglis ලකුණු 23ක් හා Glenn Maxwell ලකුණු 29ක් රැස් කරමින් තරමක ස්ථාවර සබඳතාවක් පිහිටුවීය. මෙම සබඳතාවය දුෂ්මන්ත චමීර විසින් බිඳ දැමූ අතර ඉන් අනතුරුව පිටියට එක් වූ ප්‍රහාරාත්මක පිතිකරුවන් වන Marcus Stoinis සහ Glenn Maxwell 13 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් දවා ගැනීමට ළහිරු කුමාරට හැකි විය. පන්දුවාර 13ක් අවසානයේ ලකුණු 84කට කඩුළු 5ක් ලෙස ඕස්ට්‍රේලියා ඉනිම සටහන් වූවත් ඉන් අනතුරුව පන්දුවට පහර දීමට පැමිණි Matthew Wade ඉනිම තරඟයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවකට ගෙන යාමේ වගකීම භාරගනිමින් නොදැවී ලකුණු 43ක් රැස් කර ගත්තේය.

පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 154ක් රැස් කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වූහ. දුෂ්මන්ත චමීර සහ ළහිරු කුමාර කඩුළු 2ක බැගින් දවාගත්හ.

ජයග්‍රාහී ලකුණු 155ක ඉලක්කයක් හඹා යාමට පැතුම් නිස්සංක සමඟින් කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර තරඟාවලිය පුරාවටම සාර්ථකම ශ්‍රී ලංකා පිතිකරුවා වූ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී යන විට ලබා සිටියේ ලකුණු 13ක් පමණයි. ඉන් අනතුරුව පිටියට පිවිසි
සිය මංගල ජාත්‍යන්තර තරඟය ක්‍රීඩා කරන කමිල් මිශාර අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටියදීයි. නොම්මර 4 පිතිකරු ලෙස පැමිණි චරිත් අසලංක ඉක්මන් ලකුණු 20ක් රැස් කර සිටියදී දැවී යාමෙන් අනතුරුව අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි අද ජාත්‍යන්තර වරම් දනා ගත් අනෙක් පිතිකරු ජනිත් ලියනගේත් කමිල් මිශාරගේ ඉරණමම අත් කරගනිමින් දුවද්දී දැවී යෑමකට හසු විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස් සමඟින් එක් වී කණ්ඩායම ජයග්‍රහණය සඳහා මෙහෙයවීය. අවසන් පන්දුවාරයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 9 පන්දු 5ක් තුළ සපුරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය. අවසන් පන්දුවාරයේදී දැවී යන විට දසුන් ශානක ලකුණු 35ක් රැස් කළ අතර අගනා ඉණිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 69ක් රැස් කළේය. තරඟයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන ලබද්දී, Glenn Maxwell තරඟාවලියේ වීරයා ලෙස තේරී පත් විණි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම 154/6 (20)

Matthew Wade 43*
Glenn Maxwell 29
Josh Inglis 23
දුෂ්මන්ත චමීර 2/30
ළහිරු කුමාර 2/34

ශ්‍රී ලංකා කණ්ඩායම 155/5 (19.5)

කුසල් මෙන්ඩිස් 69*
දසුන් ශානක 35
චරිත් අසලංක 20
Kane Richardson 2/28

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 5ක ජයක්