තිළිණ කණ්ඩම්බිට තවත් ශූරතාවක් හිමි කරමින් ජාතික සුපිරි ලීගයේ ජය යාපනයට!!!

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ උපදෙස් සහ අනුදැනුම මත ශ්‍රී ලංකා අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකබව වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුල් වරට සංවිධානය කළ ජාතික සුපිරි ලීගයේ එක්දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ (19) රාත්‍රියේ නිමාවට පත් විණි. ජාතික සුපිරි ලීගය අදියර 3ක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම රටාවක්ම ආවරණය වන අයුරින් පැවත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුමයි.

මෙම සැලැස්ම යටතේ මෙම සුපිරි ලීගයේ සිව් දින තරඟාවලිය මේ මස 24 සිට ආරම්භ වීමට නියමිත අතර සුපිරි ලීගයේ විස්සයි විස්ස තරඟාවලියත් නුදුරේදීම පැවත්වීමට කටයුතු සූදානම් කොට ඇත. සුපිරි ලීගයේ එක්දින තරඟාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4ක් වන සිංහල සමාජ ක්‍රීඩාංගණය, පී සරා ඕවල් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොට ගෙන ජනවාරි මස 24 දින ආරම්භ විණි.

ජාතික සුපිරි ලීගයේ නුවර, යාපනය, ගාල්ල, කොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 5 ක්‍රීඩා කරන අතර එක්දින තරඟාවලියේ මූලික වටයේදී එක් කණ්ඩායමකට තරඟ 8 බැගින් හිමි විණි. මූලික වටයේ දැක්වූ දක්ෂතා මත නුවර සහ යාපනය කණ්ඩායම් එක්දින තරඟාවලියේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගත්හ.

අවසාන මහා තරඟය ඊයේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවත්වූ අතර තරඟයේ කාසියේ වාසිය හිමි කරගත්තේ නුවර කන්ඩායමයි. ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර ඊයේ සවස් යාමයේ ඇති වූ සුළු වර්ෂාපතනය හේතුවෙන් තරඟය පන්දුවාර 49ට සීමා විණි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යාපනය කන්ඩායම පන්දුවාර 48.3ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 258ක් රැස් කරගැනීමට සමත් වූහ. විශිෂ්ට පිතිකරණයක නියැලුණු ශ්‍රී ලංකා 19න් පහළ ජාතික නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 87දී ලකුණු 74ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් අසිත ප්‍රනාන්දු ලකුණු 44ට කඩුලු 5ක් දවාගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම පන්දුවාර 45.5දී සියල්ලන් දැවී ලකුණු 221ක් රැස් කරගත් අතර නායක කමිඳු මෙන්ඩිස් සටන්කාමී ඉණිමක් දියත් කරමින් ලකුණු 46ක් රැස් කළේය. පන්දු යැවීමෙන් ප්‍රමෝද් මධුෂාන් ලකුණු 59ට කඩුලු 4ක් දවාගත් අතර නිම්නද මධුසංක ලකුණු 17ට කඩුලු 3ක් දවාගත්තේය. මේ සමඟින් මංගල ජාතික සුපිරි ලීග එක්දින තරඟාවලියේ ජය යාපනය කණ්ඩායමට හිමි වූයේ ලකුණු 37න්.

අවසන් තරඟයේ වීරයා සම්මානය යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමි වූ අතර තරඟාවලියේ හොඳම පිතිකරු සම්මානය නැගී එන ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දුටත් හොඳම පන්දු යවන්නා සම්මානය පුලින තරංගටත් හිමි විය. තරඟාවලියේ වීරයා සම්මානය හිමි වූයේ ධනංජය ද සිල්වාටයි.

(Visited 101 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin