ශ්‍රී ලංකා එක්දින සංචිතයට කුසල් එද්දී, චාමික එළියට

August 6, 2023
ශ්‍රී ලංකා එක්දින සංචිතයට කුසල් එද්දී, චාමික එළියට

මෙම මස 30 වැනිදා සිට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා ගැනීමට යොමු කර තිබෙනවා.

වසර දෙකක කාළයට පසු කුසල් ජනිත් පෙරේරා යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ආසියානු කුසලානයට නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් චාමික කරුණාරත්න ඉවත් කර තිබෙන අතර ඇන්ජලෝ මැතිව්ස්ට සහ දිනේෂ් චන්දිමාල්ටත් මෙම සංචිතයේ ස්ථානයක් හිමි වී නැහැ.

ආබාධයක් හේතුවෙන් නිමා වු ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරග වටය අහිමි වී ගිය දුෂ්මන්ත චමීර මෙන්ම දුනිත් වෙල්ලාලගේ ද යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සංචිතය විය හැක්කේ නායක දසුන් ශානක,පැතුම් නිස්සංක,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා,
කුසල් මෙන්ඩිස්,චරිත් අසලංක,සධීර සමරවික්‍රම,ධනංජය ද සිල්වා,වනිඳු හසරංග,දුනිත් වෙල්ලාලගේ,මහිෂ් තීක්ෂණ,
ලහිරු කුමාර,දුෂ්මන්ත චමීර,ඩිල්ෂාන් මධුශංක සහ මතීෂ පතිරණයි.

අතිරේක ක්‍රීඩකයින් ලෙස කසුන් රාජිත ,චාමික කරුණාරත්න ,අවිශ්ක ප්‍රනාන්දු ,සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත නම් කර තිබෙනවා.

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගයේදී බංග්ලාදේශය සමග මෙම මස 31 වැනිදා පල්ලෙකැලේදී තරග වැදීමට නියමිතයි.