ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයට වසර 26ක් සපිරෙයි !!!

March 17, 2022
ශ්‍රි ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයට වසර 26ක් සපිරෙයි !!!

ලෝක ක්‍රිකට් වංශකතාව තුළ ශ්‍රි ලාංකීය නාමය හිනිපෙත්තෙහි රැදවූ තවත් එක් දිනයක් මීට වසර 26කට ඉහතදී උදාවිය. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයක් වෙනුවෙන් එක්වූයේ මංගල ලෝක කුසලාන ජයක පහස විදගැනීමේ පිපාසාවෙනි. ශ්‍රි ලංකා අභිමානය ජාත්‍යන්තරයට රැගෙන යමින් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මුවගට සිනහවක් ගෙනදුන් 96 ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳව මතකාවර්ජනයක් මෙතැන් පටන්…

වසර 1996 මාර්තු මස 17වන දින පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණය හයවන ලෝක කුසලාන අවසන් මහා තරගය වෙනුවෙන් ලහි ලහියේ සූදානම් විය. පැහැබර කාලගුණයක් සහිත වූ එදින විල්ස් ලෝක ශූරතාවය හිමිකරගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම සමගින් තරග බිමට පිවිසියේ පෙරලිකාර ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. අවසන් පූර්ව වටයේදී ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරන්නට ශ්‍රි ලංකා කණ්ඩායමට හැකිවද්දී දෙවරක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය.

හැත්තෑදහසකට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් ගඩාෆි ක්‍රීඩාංගණයට එක් රොක් වද්දී තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා නායක අර්ජුන රණතුංග පළමුව සිය ප්‍රතිවාදීන්ට පිත්ත අතට ගන්නට ආරාධනා කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 36ක් වන විට බිදහෙලන්නට වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ට හැකිවිය. වාස් හමුවේ මාක් වෝ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් හා රිකී පොන්ටින් එක්ව දෙවන කඩුල්ලට ශතක සබදතාවක් ගොඩනගන්නට විය. ඕස්ට්‍රේලියානු නායක මාක් ටේලර් ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් පන්දු 83ක් තුළ හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 74ක් රැස්කිරීමට සමත් විය.

මාක් ටේලර්ගේ ඉනීමට නැවතීමේ තිත තැබූ අරවින්ද සිල්වා නැවත වරක් ක්‍රියාත්මක වූයේ ලකුණු 45ක් රැස්කළ රිකී පොන්ටින්ද ක්‍රීඩාගාරයට හරවා යවමිනි. ශ්‍රි ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ නියමිත පන්දුවාර 50 නිමාවට පත්වන විට ඕස්ට්‍රේලියානු ඉනීම දිස්වූයේ කඩුලු 7කට ලකුණු 241ක් ලෙසිනි. නොදැවී පන්දුවට පහර දුන් මයිකල් බෙවන් ලකුණු 36ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් අරවින්ද සිල්වා ලකුණු 42ක් තුළදී කඩුලු 3ක් බිදහෙලීය.

ඉලක්කය හබායාම වෙනුවෙන් ක්‍රීඩා පිටියට පිවිසියේ ප්‍රවේගකාරී පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය සමගින් රොමේෂ් කලුවිතාරණයි. සනත් ජයසූරිය අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවූ අතර මුලු ලකුණු සංඛ්‍යාව 23ක් වන විට රොමේෂ් කලුවිතාරණද ක්‍රීඩාගාරයේ තරග නරඹන්නෙකු බවට පත්කිරීමට කැන්ගරු ක්‍රීඩකයන්ට හැකිවිය. කඩුලු 2ක් බිදවැටී තරගයේ පීඩනය ශ්‍රි ලංකා කණ්ඩායම දෙසට නතුවද්දී අසංක ගුරුසිංහ සමගින් පිටියේ එක්වූයේ දකුණත් පිතිකරු අරවින්ද සිල්වායි. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නට එරෙහිව ගඩාෆි තණතීරුවේ කදවුරු බදින්නට ඔවුන් දෙදෙනා වගබලාගත්තේ තුන්වන කඩුල්ලට අගනා ලකුණු 125ක සබදතාවක් ගොඩනගමිනි.

පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමගින් අගනා ලකුණු 65ක් රැස්කිරීමට අසංක ගුරුසිංහ සමත් විය. අනතුරුව අරවින්ද සිල්වා සමගින් පිටියට එක්වූ නායක අර්ජුන රණතුංග ශ්‍රි ලංකා කණ්ඩායම මංගල ලෝක කුසලාන ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අසරණ කරමින් අරවින්ද සිල්වා විශිෂ්ඨ ශතකයක් රැස්කිරීමට සමත් වූයේ ශ්‍රි ලංකා ක්‍රිකට් වංශකතාව රන් අකුරින් ලියවමිනි.

ලෝක කුසලාන විජයග්‍රාහී ලකුණ හතරේ පහරකින් වාර්තා කරන්නට නායක අර්ජුන රණතුංග සමත් වූයේ ශ්‍රි ලංකා ක්‍රිකට් නාමය ලෝක ක්‍රිකට් පොත් අතරෙහි ලියවමිනි. ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අරවින්ද සිල්වා පන්දු 124කට ක්‍රීඩා කරමින් හතරේ පහර 13ක්ද සමගින් නොදැවුනු ලකුණු 107ක් රැස්කරද්දී නායක අර්ජුන රණතුංග හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 47ක් රැස් කළේය. පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් පෑ අරවින්ද සිල්වා අවසන් මහා තරගයේ වීරයා ලෙසින් සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් සනත් ජයසූරිය සම්මානයට පාත්‍ර විය.

ඕස්ට්‍රේලියානු ඉනීම : 241/7
මාක් ටේලර් 74, රිකී පොන්ටින් 45, මයිකල් බෙවන්* 36
අරවින්ද සිල්වා 3/42, චමින්ද වාස් 1/30

ශ්‍රි ලංකා ඉනීම : 245/3
අරවින්ද සිල්වා* 107, අසංක ගුරුසිංහ 65, අර්ජුන රණතුංග* 47
ඩේමියන් ෆ්ලෙමින් 1/43