කොදෙව් එංගලන්ත පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි !!!

March 13, 2022
කොදෙව් එංගලන්ත පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි !!!

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඇන්ටිගුවාහි සර් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල්පෙල කඩුලු 4ක් ලකුණු 48ක් තුළ දැවී යද්දී ඉනීමේ වගකීම කරටගත් ජොනී බෙයාස්ටෝ විශිෂ්ඨ ශතකයක් රැස් කළේය. බෙයාස්ටෝ සමගින් එක්ව එංගලන්ත ඉනීම සවිමත් කරන්නට බෙන් ස්ටෝක්ස් හා බෙන් ෆෝක්ස්ට හැකිවද්දී පළමු දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 268ක් එංගලන්ත ලකුණු පුවරුවේ දිස්විය. දෙවන දිනයේ පළමු අර්ධය තුළදී එංගලන්ත පළමු ඉනීම ලකුණු 311කදී නිමාවට පත් විය. විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ ජොනී බෙයාස්ටෝ හතරේ පහර 21ක් සමගින් ලකුණු 140ක් රැස්කිරීමට සමත් විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩ්න් සීල්ස් ලකුණු 79ට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.

පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සාර්ථක ආරම්භක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 83ක් එක් කළහ. නායක ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 55ක් රැස්කළ අතර කොදෙව් ඉනීමේ නැංගුරම බවට පත් වූ නකුම්රා බෝනර් අගනා ශතකයකින් කොදෙව් ඉනීම හැඩ කළේය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආවේණික පිතිකරණ විලාශයක් පෙන්නුම් කළ කොදෙව්වන් සිව්වන දිනයේ පළමු අර්ධය තෙක් සිය පළමු ඉනීම ක්‍රීඩා කළහ. ඔවුන් පන්දුවාර 157 පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 375ක් රැස්කිරීමට සමත් විය. නකුම්රා බෝනර් හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 123ක් රැස්කළ අතර ජේසන් හෝල්ඩර් ලකුණු 45කින් කොදෙව් ඉනිම සවිමත් කළේය.

ලකුණු 64ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 24කදී බිද වැටුනද දෙවන කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබදතාවක් ගොඩනගන්නට රූට් හා ක්‍රව්ලිට හැකිවිය. ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි හතරේ පහර 16ක් සමගින් ලකුණු 121ක්ද නායක ජෝ රූට් හතරේ පහර 6ක් සමගින් ලකුණු 109ක්ද රැස්කිරීමට සමත් විය. තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී කඩුලු 6ක් දැවී ලකුණු 349ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට එංගලන්ත නායකයා තීරණය කළේය. එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනීමේ කඩුලු 3ක් දවාගැනීමට අල්සාරී ජෝසප්ට හැකිවිය.

ලකුණු 286ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 68ක් තුළ බිදවැටුනි. අනතුරුව නකුම්රා බෝනර් හා ජේසන් හෝල්ඩර් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට වගබලාගත්හ. ඒ අනුව අවසන් දිනය වූ ඊයේ දිනය නිමාවට පත්වන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 147ක් කොදෙව් දෙවන ඉනීම ඉදිරියේ සටහන් විය. නකුම්රා බෝනර් ලකුණු 38ක් හා ජේසන් හෝල්ඩර් ලකුණු 37ක් නොදැවී රැස්කරද්දී ජැක් ලීච් එංගලන්තය වෙනුවෙන් කඩුලු 3ක් දවාගත්තේය.

එංගලන්ත පළමු ඉනීම : 311/10
ජොනී බෙයාස්ටෝ 140, බෙන් ෆෝකස් 42, බෙන් ස්ටෝක්ස් 36
ජේඩ්න් සීල්ස් 4/79, ජේසන් හෝල්ඩර් 2/24, අල්සාරී ජෝසප් 2/70

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනීම : 375/10
නකුම්රා බෝනර් 123, ක්‍රෙග් බ්‍රැත්වේට් 55, ජේසන් හෝල්ඩර් 45
බෙන් ස්ටෝක්ස් 2/42, ජැක් ලීච් 2/79, ක්‍රෙග් ඕවර්ටන් 2/85

එංගලන්ත දෙවන ඉනීම : 349/6d
සැක් ක්‍රව්ලි 121, ජෝ රූට් 109, ඩෑන් ලෝරන්ස් 37
අල්සාරී ජෝසප් 3/78, කෙමාර් රෝච් 2/53

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනීම : 147/4
නකුම්රා බෝනර්* 38, ජේසන් හෝල්ඩර්* 37
ජැක් ලීච් 3/57