සිටිලීග් සභාපති කුසලානය සිවුවැනි වරටත් කොළඹට

August 7, 2023
සිටිලීග් සභාපති කුසලානය සිවුවැනි වරටත් කොළඹට

6 වැනි වරට පැවැති සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව සිවුවැනි වරටත් කොළඹ පාපන්දු සමාජය දිනා ගනියි. කොළඹ පාපන්දු සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර, අවසන් මහා තරගය පෙරේදා සිටිලීග් පිටියේදී පැවැති අතර, එහිදී කොළඹ පාපන්දු සමාජය ගෝල් 2-0ක ජයක් ලබා ශූරතාව සමග මුදලින් රුපියල්150,000ක ත්‍යාගයට හිමිකම් කීය. එමෙන්ම අනුශූරතාව දිනාගත් මාලිගාවත්ත යූත් පිලට කුසලානය සමග මුදලින් රු. 100,000ක් පිරිනැමුණි.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම තරගයේ ගෞරවනීය ආරාධිතයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා හා එක්ස්පෝ ලංකා කළමනාකාර අධ්‍යක්ෂ, වෙළද සේවා පාපන්දු සභාපති සායිෆ් යූසුප් මහතා එක්ව සිටියහ.

කොළඹ පාපන්දු සමාජය හා මාලිගාවත්ත යූත් පිල අතර, තරගය නැරැඹීමට 5000කට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටි අතර, එය මෑත කාලයේ පාපාන්දු තරගයක් නැරුඹීමට පැමිණි විශාලම පිරිස වේ.

මාලිගාවත්ත යූත් පිල පළමු භාගයේදී ආරක්ෂක වළල්ලට ක්‍රීඩකයින් 5ක් යොදා ආරක්ෂිත ක්‍රීඩා විලාසයක් අනුගමනය කළේය. තරගයේ පළමු භාගයේ දෙපිලම ගෝල් වාර්තා නොකළ අතර, 51 වැනි හා 64 වැනි මිනිත්තුවලදී කොළඹ පාපන්දු සමාජයේ මොහොමඩ් ආකීබ් තම පිලට ගෝල් දෙකම එක් කළේය.

අවසන් මහා තරගයට පිවිසි කොළඹ පාපන්දු සමාජය මෑත කාලයේ ප්‍රධාන ශූරතා රැසක් දිනාගත් අතර, මාලිගාවත්ත යූත් පිල මෙවැනි තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ වසර 27කට පසුවීම විශේෂත්වයකි. එබැවින් ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි අවධානයක් මෙම අවසන් මහා තරගය වෙත යොමුව තිබිණි.

කොළඹ පාපන්දු පිලේ පුහුණුකරු ලෙස රූමි මොහොමඩ් මහතා කටයුතු කළ අතර, මාලිගාවත්ත යූත් පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පිලේ හිටපු නායක මොහොමඩ් ඉසෙදීන් මහතා කටයුතු කළේය.

තරගාවලියේ දක්ෂතම ගෝල් කීපර් ට හිමි සම්මානය කොළඹ පාපන්දු සමාජයේ ඉම්රාන් නසීර්, හොදම ආරක්ෂක කළාප⁣යේ ක්‍රීඩකයා ලෙස මාලිගාවත්ත යූත් පිලේ මොහොමඩ් ෆසීල්, හොදම මැදපෙළ ක්‍රීඩකයාට හිමි සම්මානය කොළඹ සමාජයේ අහමඩ් සස්නි, හොදම පුහාරකයාට හිමි සම්මානය මොහොමඩ් ආකීබ් හා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාලිගාවත්ත යූත් පිලේ මොහොමඩ් සර්ෆාන් සම්මාන දිනාගත්හ.

සිටිලීග් පාපන්දු ලීගයේ සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික මුදලින. ත්‍යාග වෙනුවෙන් අනුග්‍රාහකත්වය සැපයීම විශේෂත්වයකි.