ඕස්ට්‍රේලියා පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයන් තොරව අවසන් වෙයි !!!

March 17, 2022
ඕස්ට්‍රේලියා පාකිස්තාන දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයන් තොරව අවසන් වෙයි !!!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය කරච්චි ක්‍රීඩාංගණයේදී පසුගිය 12වනදා ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 82ක සබදතාවක් ගොඩනගන්නට විය. ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල ලෙසින් ලකුණු 36කට දැවී යද්දී මානස් ලබුශේන් අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවිය.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජා සිය 11වන ශතකය වාර්තා කිරීමට සමත් වද්දී ස්ටීවන් ස්මිත් ලකුණු 72ක් ඕස්ට්‍රේලියානු ඉනීමට එක් කළේය. පළමු දිනය නිමාවට පත් වන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 251ක් ලෙසින් දිස්විය. දෙවන දිනය තුළදී ලකුණු 150 සීමාව පසුකර යන්නට උස්මාන් කවාජා සමත්කම් දැක්වීය. පන්දු 369කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 160ක් රැස්කොට සිටියදී කවාජාගේ ඉනීම නිමාකරන්නට සජීඩ් ඛාන්ට හැකිවිය. ඕස්ට්‍රේලියානු පළමු ඉනීම වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 93ක් එක් කළේය. දෙවන දිනයට තරගය නතර කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 505ක් රැස්කොට තිබුණි.

තෙවන දිනයේ පළමු අර්ධයේදී එක් කඩුල්ලක් දැවී තවත් ලකුණු 51ක් රැකොට සිටියදී සිය පළමු ඉනීම අත්හිටුවීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළහ. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් උස්මාන් ශින්වාරි හා සජීඩ් ඛාන් කඩුලු 2 බගින් බිදහෙලද්දී ඕස්ට්‍රේලියානු පළමු ඉනීම කඩුලු 9කට ලකුණු 556ක් ලෙසින් දිස්විය. පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ පාකිස්තාන කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 40 සීමාව ඉක්මවන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. පාකිස්තාන පළමු ඉනීම වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 36ක් රැස්කරද්දී පිතිකරුවන් පස්දෙනෙකුට ලකුණු 10 සීමාව ඉක්මවීමට නොහැකි විය. ඕස්ට්‍රේලියානුවන් රැස්කළ දැවැන්ත ලකුණු පුවරුවට පිළිතුරු ලෙසින් පාකිස්තානය සිය පළමු ඉනීමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කළේ ලකුණු 148ක් පමණි. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩුලු 3ක්ද මිචෙල් ස්වෙප්සන් කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය.

ලකුණු 408ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම තෙවන දිනය අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 87ක් රැස්කොට සිටියහ. තරගයේ සිව්වන දිනයේදී තවත් ලකුණු 10ක් පමණක් රැස්කරමින් සිය දෙවන ඉනීම අත්හිටුවන්නට ඕස්ට්‍රේලියාව තීරණය කළහ. ඕස්ට්‍රේලියානු දෙවන ඉනීමේදී උස්මාන් කවාජා හා මානස් ලබුශේන් ලකුණු 44 බැගින් රැස්කළහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 506කි. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම සිව්වන දිනය නිමාවට පත් වන විටදී කඩුලු 2ක් දැවී ලකුණු 192ක් රැස්කොට තිබුණි. බාබර් අසාම් නොදැවී ලකුණු 102ක් රැස්කිරීමට සමත් වූයේ තරග ආකෘති තුනෙහිම ශතකය රැස්කළ ලොව තෙවන නායකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වෙමිනි.

තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනයේදී පාකිස්තාන කණ්ඩායමට කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 314ක් රැස්කළ යුතු විය. නමුත් පාකිස්තාන ඉනීමේ තෙවන කඩුල්ල ලෙසින් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශාෆික් ලකුණු 96කදී දවාගැනීමට පැට් කමින්ස් සමත්විය. ෆවඩ් අලාම් ලකුණු 9කට දැවී යද්දී නායක බාබර් අසාම් හා කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පාකිස්තාන ලකුණු පුවරුව ඉහළ නැංවීය. පන්දු 425කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් හා එක්.හයේ පහරක් සමගින් විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ බාබර් අසාම් අවාසනාවන්ත ලෙසින් ලකුණු 196කදී දැවී ගියේය. දිනයේ තවත් පන්දුවාර 12ක් පමණ ඉතිරිව තිබියදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් තවත් කඩුලු 4ක් දවාගැනීමට අවශ්‍ය විය. නමුත් පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අගනා ශතකයක් වාර්තා කරමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට වගබලාගත්තේය. රිස්වාන් හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 104ක් රැස්කිරීමට සමත් විය. අවසන් දිනයේදී තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 443ක් පාකිස්තාන දෙවන ඉනීම ඉදිරියේ ලියවෙද්දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඕස්ට්‍රේලියානු පළමු ඉනීම : 556/9d
උස්මාන් කවාජා 160, ඇලෙක්ස් කෙරී 93, ස්ටීව් ස්මිත් 72
ෆහීම් අශ්‍රෆ් 2/55, සජීඩ් ඛාන් 2/167

පාකිස්තාන පළමු ඉනීම : 148/10
බාබර් අසාම් 36, නවුමන් අලී* 20
මිචෙල් ස්ටාක් 3/29, මිචෙල් ස්වෙප්සන් 2/32, නේතන් ලයන් 1/13

ඕස්ට්‍රේලියානු දෙවන ඉනීම : 97/2d
උස්මාන් කවාජා* 44, මානස් ලබුශේන් 44
ශහීන් අෆ්‍රිඩි 1/21

පාකිස්තාන දෙවන ඉනීම : 443/7
බාබර් අසාම් 196, මොහොමඩ් රිස්වාන්* 104, අබ්දුල්ලා ශාෆික් 96
නේතන් ලයන් 4/112, පැට් කමින්ස් 2/75

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.