අවාසනාව අභිබවා යන කෝලිගේ තාක්ෂණික දුර්වලතා !!!

වර්තමාන ක්‍රිකට් පිටියේ රජුන් ලෙසින් සැලකෙන ඉන්දීය හිටපු නායක විරාට් කෝලි තවමත් සිය සුපුරුදු රිද්මය සොයාගැනීමට අපොහොසත් වී ඇත. වසර 2ක කාලය තුළ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු ශතකයක් වාර්තා කිරීමට අපොහොසත් වීම දැඩි කතාබහට ලක්වන සිදුවීමකි. විරාට් කෝලි ශතකය ආසන්න සීමාවේදී අවාසනාවන්ත ලෙසින් දැවීයාමට හසුවූ අවස්ථාවන් කිහිපයක් ඔහු ක්‍රීඩා කළ පසුගිය තරග තුළදී දැකගන්නට හැකිවිය. අවාසනාවට සාපේක්ෂව ඔහුගේ පිතිකරණයේ පවතින තාක්ෂණික දෝෂ එම දැවීයාම්වලට හේතුව ලෙසින් දැක්විය හැකිය.

ඉන්දියාව තුළ ක්‍රීඩා කළ ටෙස්ට් ක්‍රිකට් තරගයන්හිදී දගපන්දු යවන්නන් හමුවේ විරාට් කෝලි දුර්වල ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළේය. 2020 වසරේ සිට ඉන්දියාව තුළ ක්‍රීඩා කළ ටෙස්ට් තරගයන්හිදී විරාට් කෝලි 11වරක් දැවීගොස් ඇත. ඒ අතුරින් අවස්ථාවන් 9කදීම විරාට් කෝලිගේ කඩුල්ල දවාගැනීමට සමත්ව ඇත්තේ දගපන්දු යවන්නන් වීම සුවිශේෂීය. අජාස් පටෙල්, ධනංජය ද සිල්වා , ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම , ඩොම් බෙස්, ජැක් ලීච්, මොයීන් අලි හා රචින් රවීන්ද්‍ර හමුවේ විරාට් කෝලි දැවීගොස් ඇත.

මෙම දැවීයාම් 9 අතුරින් අවස්ථාවන් 4කදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන්ද තවත් අවස්ථාවන් 4කදී පන්දුව කඩුල්ලේ වැදීමෙන්ද දැවීගොස් ඇත. අවසන් වූ ඉන්දු – ශ්‍රි ලංකා ටෙස්ට් තරගාවලියේදී විරාට් කෝලි දැවී ගිය අවස්ථාවන් තුනෙහිදීම ඔහු සම්පූර්ණයෙන් පසුපාදයේ ක්‍රීඩා කරන ආකාරය දක්නට ලැබුණි. 2018 වසරේ එංගලන්තයට එරෙහිව හැඩ්ලිහිදී පැවති එක්දින තරගයේදීද අඩිල් රශීඩ්ගේ පන්දුවක් කෝලිගේ පිත්ත අභිබවා යමින් කඩුල්ලේ දැවටෙන්නේද පසුපාදයේ ක්‍රීඩා කළ අවස්ථාවකදීමය.

පන්දුව පතිත වන්නා වූ ස්ථානය ඉක්මනින් හදුනා නොගැනීමද විරාට් කෝලි වැඩි වශයෙන් කඩුල්ල මුවාකිරීමට හසුවීම හා පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවීයාමට තවත් හේතුවක් ලෙසින් සැලකිය හැකිය. 2021 වසරේ එංගලන්ත කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේදී මෙය දැකගත හැකිවිය. මොයීන් අලි පන්දුව පිට ඉන්නෙන් එලියෙහි පතිත කොට කෝලිව කවර් ඩ්‍රයිව් පහරක් කරා පෙළඹවීය. නමුත් පන්දුව කෝලි බලාපොරොත්තු වූවාට වඩා කෙටි පන්දුවක් වූ අතර එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ පන්දුව පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල කරා ගමන් කිරීමයි.

එමෙන්ම ඔහු ලෙග් සයිඩ් කලාපයට පහර එල්ල කරන විටදීත් පාදය කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරන ආකාරයෙන් තබා ගැනීම නිසාවෙන් වැඩි වශයෙන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙයි. තවද කෝලි පන්දුවට පහර දෙන විට පිත්ත හා පා ආවරණය ඉතා සමීප වන ආකාරයට පිතිකරණයේ යෙදෙන ආකාරය දැකගත හැකිය. එවිට පන්දුවට පිත්ත අභිබවා යමින් පිට ඉන්නේ දැවටීමට වැඩි ඉඩකඩක් පවතී. පසුගිය වසරේ නවසීලන්ත කණ්ඩායම සමගින් මුම්බායිහිදී පැවති ටෙස්ට් තරගයකදී අජාස් පටෙල්ගේ පන්දුවක් හමුවේ විරාට් කෝලි ඉහත කී ආකාරයෙන් දැවීයාමට හසුවිය. විරාට් කෝලි මේ ආකාරයටම ක්‍රීඩා කරමින් ඉතා විශිෂ්ඨ ලෙසින් ලකුණු රැස්කොට ඇති නමුත් මෑතකාලීනව ඔහුගේ තාක්ෂණික දුර්වලතා හේතුවෙන් දැවීයාම් දැඩි කතාබහට ලක්විය. විරාට් කෝලි සිය දුර්වලතා මගහරවා ගනිමින් නැවතත් සුපුරුදු රිදමයට එළඹ දක්ෂතා දක්වන තෙක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මහත් ආසාවෙන් යුතුව බලා සිටිනු නිසැකය.

(Visited 74 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin