සියවන එක්දින තරගය ශතකයකින් හැඩකළ පළමු හා එකම ශ්‍රි ලාංකිකයා!!!

February 22, 2022
සියවන එක්දින තරගය ශතකයකින් හැඩකළ පළමු හා එකම ශ්‍රි ලාංකිකයා!!!

ලෝක ක්‍රිකට් වංශකතාව රන් අකුරින් ලියූ පිතිකරුවන් අතරෙහි කුමාර් සංගක්කාර නාමය හිනිපෙත්තෙහි රැදෙන්නකි. වාර්තා පිට වාර්තා පිහිටුවමින් සිය ක්‍රිකට් දිවිය අවසන් කරන්නට කුමාර් සංගක්කාරට හැකිවුවද ඔහුගේ ක්‍රිකට් දිවියේ ආරම්භක අවධිය එතරම් සුභදායී නොවීය. පාකිස්තානයට එරෙහිව සිය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අරඹන සංගක්කාර පළමු තරග ද්විත්වයේදීම අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවීයාමට හසුවද්දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි සිය දෙවන ජාත්‍යන්තර තරගයේදී ලකුණු 85ක් රැස්කිරීමට සංගක්කාරට හැකිවිය.

එලෙසින් ඇරඹෙන සංගක්කාරගේ එක්දින ක්‍රිකට් දිවියට ශතකයක් එක්වන්නේ සිය 86වන තරගයේදීය. 2003 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහි තරගයේදී නොදැවුනු ලකුණු 100ක් රැස්කරමින් සිය මංගල එක්දින ශතකය සිය නාමය ඉදිරියේ සටහන් කරගන්නට සංගා සමත් වද්දී කෙන්යානු කණ්ඩායමට එරෙහි මීළග තරගයේදීද නොදැවුනු ශතකයක් රැස්කිරීමට සංගාට හැකිවිය.

එතැන් පටන් තම සියවන එක්දින තරගය තෙක් කිසිදු ශතකයක් වාර්තා කිරීමට සංගක්කාර අසමත් විය. නමුදු තම සියවන එක්දින තරගයේදී අගනා ශතකයක් වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක්වන්නට කුමාර් සංගක්කාර සමත්කම් දැක්වීය. ඒ අනුව සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ලොව සිව්වන ක්‍රීඩකයා හා පළමු ශ්‍රි ලංකා ක්‍රීඩකයා බවට පත්වන්නට කුමාර් සංගක්කාරට හැකිවිය.

සියවන එක්දින තරගයේ ශතක ලාභී ක්‍රීඩකයන් අතරට සංගක්කාර නාමය එක්වූයේ 2004 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරයේ සිව්වන එක්දින තරගයෙහිදීය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවති මෙම තරගරයේ කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියානු නායක රිකී පොන්ටින් පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 47 පන්දු 4කදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 233ක් සිය ඉනීම ඉදිරියේ සටහන් කරන්නට සමත් විය. නායක රිකී පොන්ටින් හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කරද්දී ශ්‍රි ලංකා දගපන්දු යුගලය වූ මුත්තයියා මුරලිදරන් හා උපුල් චන්දන අතරෙහි කඩුලු තුන බැගින් බෙදී ගියේය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සනත් ජයසූරිය ලකුණු රැස්කිරීමට පෙරාතුව ක්‍රීඩාගාරයට හරවා යවන්නට මයිකල් කැස්ප්‍රොවිච් සමත් විය. අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 80ක් එක්කරන්නට මාවන් සමගින් පිටියේ එක්වූ සංගක්කාර වගබලාගත්තේය. මාවන් අතපත්තුගේ ඉනීම ලකුණු 19කට සීමා වද්දී ඉනීමේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මහේල ජයවර්ධන ලකුණු 25ක් ශ්‍රි ලංකා ඉනීමට එක් කරන්නට විය.

ශ්‍රි ලංකා කණ්ඩායම දැවැන්ත පරාජයක අවමානයෙන් ගලවා ගැනීමට අගනා ඉනීමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර සිය එක්දින දිවියේ තෙවන ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව තම සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ලොව සිව්වන ක්‍රීඩකයා බවට පත්වන්නට සංගක්කාර සමත් වූයේ එවන් දස්කමක් පෑ එකම ශ්‍රි ලාංකිකයා බවටද පත්වෙමිනි. පන්දු 110කට මුහුණ දී හතරේ පහර 15ක් සමගින් අගනා ලකුණු 101ක් රැස්කළ කුමාර් සංගක්කාර ශ්‍රි ලංකා ඉනීමේ සිව්වන කඩුල්ල ලෙසින් දවාගැනීමට නැවත වරක් ක්‍රියාත්මක වූ කැස්ප්‍රොවිච් සමත් විය.

අනිකුත් පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ නිසාවෙන් පන්දුවාර 43 පන්දු 4කදී ශ්‍රි ලංකා ඉනීම ලකුණු 193කට සීමා විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මයිකල් කැස්ප්‍රොවිච් ලකුණු 45ක් තුලදී කඩුලු 5ක් බිදහෙලන්නට සමත් විය. සියවන එක්දින තරගයේදී ශතකයක් රැස්කළ ක්‍රීඩකයන් අතලොස්ස අතරට සිය නාමය එක් කරගන්නට කුමාර් සංගක්කාරට මෙම තරගයේදී හැකි වුවද තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගන්නට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවිය.

සියවන එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ පිතිකරුවන්
ගෝඩ්න් ග්‍රීනිජ් -102* (බටහිර ඉන්දීය කොදෙව්)
ක්‍රිස් කෙයාන්ස් -115 (නවසීලන්තය)
යූසුෆ් යොහානා – 129 (පාකිස්තානය)
කුමාර් සංගක්කාර – 101 (ශ්‍රි ලංකාව)
ක්‍රිස් ගේල් – 132 (බටහිර ඉන්දීය කොදෙව් )
මයිකල් ට්‍රෙස්කොතික් – 100* (එංගලන්තය)
රම්නරේෂ් සර්වාන් – 115* (බටහිර ඉන්දීය කොදෙව්)
ඩේවිඩ් වෝනර් – 124 (ඕස්ට්‍රේලියාව)
ශිකර් ධවාන් – 109 (ඉන්දියාව)