ශ්‍රි ලංකාවට තවත් විස්සයි විස්ස තරගාවලි පරාජයක්!!!

February 27, 2022
ශ්‍රි ලංකාවට තවත් විස්සයි විස්ස තරගාවලි පරාජයක්!!!

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායමත් ඉන්දීය කණ්ඩායමත් අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ දිනයේදී ධර්මසාලාහිදී පැවැත්විණ. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඊයේ තරගය වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදුකොට තිබුණි.

ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිස්සංක ශ්‍රි ලංකා ඉනීම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 67ක සබදතාවක් ගොඩනැගූහ. රවීන්ද්‍ර ජඩේජා යොමුකළ නවවන පන්දුවාරයේ පළමු පන්දු 3ට ලකුණු 16ක් රැස්කිරීමට ධනුෂ්ක ගුණතිලකට හැකි වූ නමුත් මීළඟ පන්දුවෙන් ධනුෂ්කගේ ඉනිම නිමා කරන්නට ජඩේජාට හැකිවිය. චරිත් අසලංක ලකුණු 2ක් රැස්කොට සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවද්දී යොවුන් පිතිකරු කමිල් මිෂාරට රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. ශ්‍රි ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වන දිනේෂ් චන්දිමාල් ඊයේ දිනයේදීද අසාර්ථක වූ අතර ඔහුගේ ඉනීම ලකුණු 9කට සීමා විය.

16වන පන්දුවාරයේ පටන් ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව වේගවත් පිතිකරණ‍යක නිරත වන්නට ශ්‍රි ලංකා පිතිකරු යුගලය වූ පැතුම් හා ශානක සමත්විය. සිය විස්සයි විස්ස දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නට පැතුම් නිස්සංක සමත් වද්දී අඩුම ඉනීම් ගනණකදී ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 500 සීමාව ඉක්මවූ පිතිකරුවන් අතරෙහි තෙවැන්නා බවට පත්වන්නටද පැතුම්ට හැකිවිය. පැතුම් පන්දු 53ක් තුළ හතරේ පහර 11ක් සමගින් අගනා ලකුණු 75ක් රැස්කිරීමට සමත් විය. ඉනීමේ අගභාගය වේගවත් කළ ශ්‍රි ලංකා නායක දසුන් ශානක පන්දු 19ක් තුළ හතරේ පහර 2ක් හා හයේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 47ක් රැස්කළේය. නියමිත පන්දුවාර 20 තුළ ශ්‍රි ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 183ක් ලෙසින් දිස්විය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් නායක රොහිත් ෂර්මා එක් ලකුණකට ක්‍රීඩාගාරයට හරවා යවන්නට දුෂ්මන්ත චමීර සමත් විය. මුලු ලකුණු පුවරුව 44ක් ලෙස සටහන්වද්දී ඉෂාන් කිෂාන් ක්‍රීඩාගාරයට හරවා යවන්නට ලහිරු කුමාරට හැකිවිය. අනතුරුව සංජු සැම්සන් හා ශ්‍රෙයාස් අයියර් එක්ව ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ගියහ.

සංජු සැම්සන් ලකුණු 39කට දැවීගියේ බිනුර ප්‍රනාන්දු රැකගත් විශිෂ්ඨ උඩපන්දුව නිසාවෙනි. ශ්‍රි ලංකා ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දුර්වලතා තරගය පුරාවටම දැකගත හැකිවද්දී උඩපන්දුව අතහැරීම් නිසාවෙන් තරගය ශ්‍රි ලංකා කණ්ඩායමෙන් ගිලිහෙන්නට විය. සාර්ථක තරග අවසානයක් කරා ඉන්දීය කණ්ඩායම රැගෙන යාමට ජඩේජා හා අයියර්ට සමත් විය. ඉනීමේ නැංගුරම බවට පත් වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 44කදී හතරේ පහර 6ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවුනු ලකුණු 74ක් රැස්කිරීමට සමත් වද්දී රවීන්ද්‍ර ජඩේජා පන්දු 18ක් තුළ වේගවත් ලකුණු 45ක් රැස් කළේය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 එක් පන්දුවක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළහ. ඒ සමගින් තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

කෙටි ලකුණු පුවරුව
ශ්‍රි ලංකාව – 183/5
පැතුම් නිස්සංක 75, දසුන් ශානක* 47, ධනුෂ්ක ගුණතිලක 38
ජස්ප්‍රිට් බුම්‍රා 1/24, යුශ්වේන්‍ද්‍ර චහල් 1/27

ඉන්දියාව – 186/3
ශ්‍රෙයාස් අයියර්* 74, රවීන්ද්‍ර ජඩේජා* 45, සංජු සැම්සන් 39
ලහිරු කුමාර 2/31, දුෂ්මන්ත චමීර 1/39