ප්‍රවීන් දෙවන ටෙස්ට් තරගයට කැඳවන ලකුණු !!!

March 10, 2022
ප්‍රවීන් දෙවන ටෙස්ට් තරගයට කැඳවන ලකුණු !!!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අනිද්දා(12) ආරම්භ වීමට නියමිතය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය බැංගලෝර්හිදී පැවැත්වෙයි. මෙම තරගයට වමත් දගපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම කැදවීමේ වැඩි ඉඩක් පවතින බවට වාර්තා වෙයි. ඒ අනුව දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී ලසිත් අබුල්දෙණිය සමගින් ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකා දගපන්දු බල ඇණිය සවිමත් කරනු ඇත.

ඉන්දීය කණ්ඩායම සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක පූර්ණ දගපන්දු යවන්නෙකු පමණක් යොදාගැනීම අවාසි සහගත විය. එම තරගයේදී ලසිත් ඇබුල්දෙනිය පන්දුවාර 46ක් යොමුකළ අතර ඉන්දීය හිටපු නායක විරාට් කොලිගේ කඩුල්ලද ඇතුළුව කඩුලු 2ක් බිදහෙලීය. ඉන්දීය තරග සංචාරයට නම් කල අශේන් ඩැනියෙල්ට වීසා ගැටළුවක් හේතුවෙන් ඉන්දියාවට යාමට නොහැකි විය. ඒ නිසාවෙන් දෙවන තරගයට අබුල්දෙනිය සමගින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සතු එකම දගපන්දු යවන්නා වනුයේ ප්‍රවීන් පමණි.

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තරග 3කට ක්‍රීඩා කොට ඇති ප්‍රවීන් කඩුළු 18ක් බිදහෙලා ඇත්තේ කඩුළු 5 බැගින් වූ අවස්ථාවන් 2ක්ද සමගිනි. ඉන්දීය කණ්ඩායම එළබෙන තරගයේදීද දගපන්දු යවන්නන් තිදෙනෙකු යොදාගනු ඇති බවට වාර්තා වෙයි. අලුතෙන් සංචිතයට කැදවු අක්ෂාර් පටෙල් මීලග තරගයට ක්‍රීඩා කරවීමේ වැඩි ඉඩක් පවතින බවද වාර්තා වෙයි. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පළමු තරගයේදී ආබාධයකට ලක්වූ අතර ඔහු වෙනුවට පන්දු යවන්නෙකු ආදේශ කල යුතු වෙයි.