දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පහසු ජයක් !!!

March 21, 2022
දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පහසු ජයක් !!!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඊයේ ජොහැන්ස්බර්ග්හිදී පැවැත්විණි. තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ පැවති තරගය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්වූයේ රෝස පැහැති ජර්සියෙන් සැරසෙමිනි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායක තමිම් ඉක්බාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක වන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් 5දෙනා ලකුණු 34ක් තුළ ක්‍රීඩාගාරයට හරවා යවන්නට කාගිසෝ රබාඩා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නට හැකිවිය. අනතුරුව මහමදුල්ලා හා අෆිෆ් හුසේන් අතරෙහි හයවන කඩුල්ලට ලකුණු 60ක සබදතාවක් ගොඩනැගුණි. නායක මහමදුල්ලා ලකුණු 25කට දැවීයද්දී අෆිෆ් හුසේන් හා මෙහෙදි හසන් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළ නංවන්නට විය.

ඔවුන් දෙදෙනා හත්වන කඩුල්ලට ලකුණු 86ක් එක් කරද්දී ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අෆිෆ් හුසේන් පන්දු 107කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 72ක් රැස්කළේය. මෙහෙදි හසන් මිරාස් ලකුණු 38ක් රැස්කරද්දී නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ ලකුණු 194ක් පමණි. දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කාගිසෝ රබාඩා ලකුණු 39ක් තුළ කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කරන්නට ක්වින්ටන් ඩි කොක් හා ජනෙමන් මාලන්ට හැකිවිය. පළමු කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා අතර ලකුණු 86ක සබදතාවක් ගොඩනැගෙද්දී ජනෙමන් මාලන් ලකුණු 26කදී දවාගැනීමට මෙහෙදි හසන් සමත්විය. පන්දු 41කට මුහුණ දුන් ක්වින්ටන් ඩි කොක් හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 62ක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට එක් කරන්නට විය.

අනතුරුව තෙවන කඩුල්ලට තවත් ලකුණු 84ක සබදතාවක් ගොඩනගන්නට ටෙම්බා බවුමා හා කයිල් වැරේන් වගබලාගත්හ. නායක ටෙම්බා බවුමා හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 37ක් රැස්කළේය. පන්දුවාර 37 පන්දු 2ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට හැකිවිය. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ කයිල් වැරේන් හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 58ක් රැස්කිරීමට සමත් විය.

බංග්ලාදේශ ඉනීම : 194/9 (50)
අෆිෆ් හුසේන් 72, මෙහෙදි හසන් මිරාස් 38, මහමදුල්ලා රියාස් 25
කාගිසෝ රබාඩා 5/39, රසී වැන් ඩර් ඩුසේන් 1/3, වේන් පානෙල් 1/6

දකුණු අප්‍රිකානු ඉනීම : 195/3 (37.2)
ක්වින්ටන් ඩි කොක් 62, කයිල් වැරේන්* 58, ටෙම්බා බවුමා 37
අෆිෆ් හුසේන් 1/15, ශකිබ් අල් හසන් 1/33