ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට සිට !!

March 3, 2022
ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට සිට !!

ශ්‍රි ලංකා ගුවන් හමුදාව 23වන වරටත් සංවිධානය කරන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 4වනදා සිට 6වනදා තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන්නේ අබාන්ස් ආයතනය විසිනි.

ගුවන් හමුදාවේ 71වන සංවත්සරයට සමගාමීව මෙවර තරගාවලිය පැවැත්වෙන අතර දිවයින පුරා සිටින අති දක්ෂ පාපැදි කරුවන් 180කට අධික පිරිසක් තරගාවලිය වෙනුවෙන් එක්වීමට නියමිත බවට වාර්තා වේ. එමෙන්ම මෙවර තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන්ගේ පැමිණීමද අපේක්ෂා කරන බවට තරග සංවිධායකයන් සදහන් කොට ඇත.

දින තුනක් පුරාවට විහිදෙන ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ආරම්භ වීමට නියමිත අතර මෙවර තරගාවලිය තුළදී පාපැදි කරුවන් කිලෝමීටර් 400කට අධික දුර ප්‍රමාණයක් ධාවනය කළ යුතුය.

පළමු දිනයේදී කොළඹ සිට පුත්තලම දක්වා පාපැදි කරුවන් ගමන් කළ යුතු අතර දෙවන දිනයේදී පුත්තලමේ සිට දඹුල්ල හරහා අනුරාධපුරය තෙක් ගමන්කළ යුතුය. අවසන් දිනයේදී අනුරාධපුරයේ සිට නාරම්මල, ගිරිඋල්ල හරහා කටුනායක තෙක් ධාවනය කළ යුතුය.

කාන්තා තරග ඉසව්ව එළඹෙන මාර්තු මස 6වනදා පැවැත්වෙන අතර එහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 96කි. එම තරගය පුත්තලම නගරයෙන් ආරම්භ වීමට නියමිත අතර කටුනායකින් තරගය අවසන් වනු ඇත.