එංගලන්ත කොදෙව් දෙවන ටෙස්ට් තරගයත් ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි !!!

March 21, 2022
එංගලන්ත කොදෙව් දෙවන ටෙස්ට් තරගයත් ජයපැරදුමෙන් තොරව අවසන් වෙයි !!!

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයද ජය පරාජයන් තොරව අවසන් විය. බාබඩෝස්හි කිංග්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනීම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 507ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් වාර්තා වූ අතර නායක ජෝ රූට් හතරේ පහර 14ක් සමගින් ලකුණු 153ක්ද බෙන් ස්ටෝක්ස් හතරේ පහර 11ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 120ක්ද රැස්කිරීමට සමත් විය. ඔවුනට සහයක් එක් කළ ඩෑන් ලෝරන්ස් හතරේ පහර 13ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 91ක් රැස්කළේය. පන්දු යැවීමේදී වීරසාමි පෙරුමාල් කඩුලු 3ක් හා කෙමාර් රෝච් කඩුලු 2ක් දවාගත්හ.

පිළිතුරු ලෙසින් සිය පළමු ඉනීම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 411ක් රැස්කළහ. කොදෙව් කණ්ඩායම වෙනුවෙන්ද ශතක දෙකක් වාර්තා වූ අතර නායක ක්‍රෙග් බ්‍රැත්වේට් පන්දු 489කට ක්‍රීඩා කරමින් හතරේ පහර 17ක්ද ඇතුළුව අගනා ලකුණු 160ක් රැස්කළේය. මෙය 2004 වසරෙන් අනතුරුව කොදෙව් පිතිකරුවෙකු ටෙස්ට් පිටියේ මුහුණ දුන් වැඩිම පන්දු සංඛ්‍යාව බවටද පත් විය. අනෙක් ශතක ලාභියා වූ ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 102ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ජැක් ලීච් පන්දුවාර 69 පන්දු 5ක් යොමුකරමින් කඩුලු 3ක් දවාගනිද්දී මෙම සියවස තුළ ටෙස්ට් ඉනීමක එංගලන්ත පන්දු යවන්නෙකු යැවූ වැඩිම පන්දුවාර ගණන බවටද එය පත් විය.

ලකුණු 96ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ එංගලන්තය කඩුලු 6කට ලකුණු 185ක් රැස්කොට සිටියදී සිය දෙවන ඉනීම අත්හිටුවීමට තීරණය කලේ ලකුණු 282ක ඉලක්කයක් කොදෙව්වන්ට ලබා දෙමිනි. එංගලන්ත දෙවන ඉනීමේදී ඩෑන් ලෝරන්ස් ලකුණු 41ක්ද සැක් ක්‍රව්ලි ලකුණු 40ක්ද රැස්කළහ. ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජයපරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. කොදෙව් නායක ක්‍රෙග් බ්‍රැත්වේට් දෙවන ඉනීමේදීද පන්දු 184කට ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 56ක් රැස්කළේය. ඒ අනුව ක්‍රෙග් බ්‍රැත්වේට් වාර්තා පොත් අතරට එක්වූයේ ටෙස්ට් තරගයක වැඩිම පන්දු ගණනකට ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවා බවට පත් වෙමිනි. ජෝෂුවාද සිල්වා නොදැවී ලකුණු 30ක් රැස්කරද්දී අවසන් දිනයේ තරගය නිමාවට පත් වන විට කොදෙව් දෙවන ඉනීම කඩුලු 5කට ලකුණු 135ක් ලෙසින් දිස්විය. එංගලන්තය වෙනුවෙන් ජැක් ලීච් කඩුලු 3ක් හා ෂකිබ් මහමුඩ් කඩුලු 2ක් බිදහෙලීය.

එංගලන්ත පළමු ඉනීම : 507/9d
ජෝ රූට් 153, බෙන් ස්ටෝක්ස් 120, ඩෑන් ලෝරන්ස් 91
වීරසාමි පෙරුමාල් 3/126, කෙමාර් රෝච් 2/68

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනීම : 411/10
ක්‍රෙග් බ්‍රැත්වේට් 160, ජර්මයින් බ්ලැක්වුඩ් 102, ශම්රා බෲක්ස් 39
ජැක් ලීච් 3/118, ෂකිබ් මහමුඩ් 2/58, බෙන් ස්ටෝක්ස් 2/65

එංගලන්ත දෙවන ඉනීම : 185/6d
ඩෑන් ලෝරන්ස් 41, සැක් ක්‍රව්ලි 40
වීරසාමි පෙරුමාල් 2/29, ජේඩ්න් සීල්ස් 2/34

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනීම : 135/5
ක්‍රෙග් බ්‍රැත්වේට්* 56, ජෝෂුවාද සිල්වා* 30
ජැක් ලීච් 3/36, ෂකිබ් මහමුඩ් 2/21