Roshan Ranasinghe met the runners-up team of the Asian Wheelchair Cricket Championship.

October 24, 2023
Roshan Ranasinghe met the runners-up team of the Asian Wheelchair Cricket Championship.

ආසියානු රෝද පුටු ක්‍රිකට් ශූරතාවලියේ, අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායම හමුවීම.

නේපාලයේ පැවති ආසියානු රෝද පුටු ක්‍රිකට් ශූරතාවලියේ, අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමග සාකච්ඡාවක් ක්‍රීඩා හා ‌යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

පවතින ආබාධ තත්ත්වයන්ට අමතර දුෂ්කරතා රැසක් මධ්‍යයේ පුහුණුවීම් සිදුකර තරගාවලියට සූදානම් උවත්, තරගාවලියට යාමට අවශ්‍ය මුදල් හා පහසුකම් නොමැති වීම හේතුවෙන් කණ්ඩායම දැඩි අසීරුතාවයකට පත්ව අසරණ වූ බවත්, අවසන් මොහොතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබා දුන් සහයෝගය හේතුවෙන් මානසික සුවතාවයකින් යුතුව තරගයට සහභාගීවීමට හැකිවීම, මෙම ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වූ බවත් කණ්ඩායමේ පුහුණුකරු වන මංජු ශ්‍රී රාජපක්ෂ මහතා විසින් කෘතඥපූර්වකව සිහිපත් කළ අතර, පුහුණුවීම් සදහා ක්‍රීඩාංගනයක් නොමැතිකම, ආර්ථිකමය වශයෙන් පවතින දැඩි දුෂ්කරතාවයන් පිළිබඳව මේ අවස්ථාවේ දී ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර සිටියේ ය.

රටට කීර්තියක් හා ගෞරවයක් ගෙන එනු ලබන මෙවැනි ක්‍රීඩකයින් පිළිබදව තමන් විශේෂ අවධානයක් යොමුකර ක්‍රීඩා පනතට අලුතින් නියෝගයක් ඇතුලත් කළ බවත්, ඒ අනුව ආබාධ සහිත ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එකතුව සාදා ගන්නා ලද මෙවැනි ක්‍රීඩා සංගම් තම මව් සංගම් (ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති  ජාතික සංගමය හෝ සම්මේලනය) යටතේ ලියාපදිංචි කර, ජාතික සංචිතය වෙත ලබා දෙන පහසුකම් හා සහයෝගය ඔවුන්ට ද  ලබා දීමට අවශ්‍ය වැඩසටහන මේ වන විට බලාත්මක බව  ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

2022.12.14 දින අංක 2310/28 දරණ ගැසට් පත්‍රයේ III කොටසේ 7 වන නියෝගයේ (xxv) ඡේදයට අලුතින් ඇතුලත් කර, ” 7(xxvi) ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ක්‍රීඩා සංගමය, තම ක්‍රීඩාවට අදාල විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් (දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කායික ආබාධිත යනාදී) සමන්විත අනුබද්ධ ක්‍රීඩා සමාජ ඇතුලත් කර ගැනීම වගකීමක් වන්නේය” ලෙස සංශෝධනය  කර ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමය නිසි පිළිගැනීමක් සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ලියාපදිංචි කර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙස උපදෙස් ලබාදීමට පියවර ගත් අතර, ඒ අනුව පුහුණුවීම් සඳහා ක්‍රීඩා පිටියක් හා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූවේ ය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත රෝද පුටු ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු සදහා අවශ්‍ය නවාතැන්, ආහාරපාන  හා අනෙකුත් පහසුකම් ලබා දීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, මේ දිනවල චීනයේ පැවැත්වෙන ආසියානු පැරා තරගාවලියට සහභාගීවී සිටින ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ නිළධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි පසු, රෝදපුටු ක්‍රිකට් සංගමය පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කර, දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී. 

ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේ දී දිස්ත්‍රික් මට්ටමින් රොද පුටු ක්‍රිකට් සංගමයේ තරගාවලි පැවැත්වීම, දක්ෂ ක්‍රීඩකයින් හදුනා ගැනීම, ක්‍රීඩා සමාජ පිහිටුවීම වැනි කටයුතු සිදු කිරීමට සාකච්ඡා විය.

පවතින ආබාධ තත්ත්වය බාධාවක් නොකර ගනිමින්, ධෛර්යයෙන් හා කැපවීමෙන් කටයුතු කර, ලක් මෑණියන් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ගෞරවයක් මෙන්ම කීර්තියක් ගෙන දීම සැබවින්ම ඇගයිය යුතු අතර, මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීම හා ධෛර්යමත් කිරීම අප සතු වගකීමක් හා යුතුමකම් වන්නේම ය.

මේ අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේසන් මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා, පුහුණුකරු වන මංජු ශ්‍රී රාජපක්ෂ මහතා හා රෝද පුටු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හා ඔවුන් දිරිගන්වන සමීපතයන් සහභාගීව සිටියහ.