හත්වන පාකිස්තාන සුපර් ලීග් කිරුළ Lahor Qalandars පිළට!!!

February 28, 2022
හත්වන පාකිස්තාන සුපර් ලීග් කිරුළ Lahor Qalandars පිළට!!!

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ හත්වන අදියරේ අවසන් මහා තරගය ඊයේ රාත්‍රියේදී පැවැත්විණි. ලාහෝර්හි පිහිටි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් පසුගියවර ශූරයන් වූ මුල්තාන් සුල්තාන් කණ්ඩායම හා ලාහෝර් කැලැන්ඩර්ස් කණ්ඩායම සුදුසුකම් ලබා තිබුණි.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලාහෝර් කැලැන්ඩර්ස් නායක ශහීන් අෆ්‍රිඩි පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමට තීරණය කළේය. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෆකර් සමාන් ලකුණු 3කට දවාගැනීමට අසිෆ් අෆ්‍රිඩිට හැකි විය. ලාහෝර් කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 25වන විට දැවී යද්දී සිය අත්දැකීම් මනා ලෙස උපයෝගී කරගනිමින් ලාහෝර් ඉනීම ගොඩනගන්නට මොහොමඩ් හෆීස් වගබලාගත්තේය. හෆීස් හා කම්‍රාන් ගුලාම් අතර සිව්වන කඩුල්ලට ලකුණු 54ක සබදතාවක් ගොඩනැගෙද්දී කම්‍රාන් ගුලාම් ලකුණු 15කට දැවී ගියේය.

කණ්ඩායමේ නැංගුරම බවට පත් වූ මොහොමඩ් හෆීස් පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් හා හයේ පහර 3ක් සමගින් අගනා ලකුණු 69ක් රැස්කිරීමට සමත් විය. දහඅටවන පන්දුවාරයේ දෙවන පන්දුවේදී මොහොමඩ් හෆීස් දැවී යන විට ලකුණු 137ක් ලෙසින් දිස්වූ ඉනීම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී 180ක් තෙක් ඔසවා තබන්නට හැරී බෲක් හා ඩේවිඩ් වයිස්ට හැකිවිය. හැරී බෲක් පන්දු 22කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 44ක් රැස්කරද්දී ඩේවිඩ් වයිස් පන්දු 8ක් තුළ එක් හතරේ පහරක් හා හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 28ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම වෙනුවෙන් අසීෆ් අෆ්‍රිඩි ලකුණු 19කට කඩුලු 3ක් බිදහෙලීය.

පිට පිට දෙවන වරටත් ශූරතාවය හිමිකරගැනීමේ අරමුණින් පිටියට පිවිසි මුල්තාන් සුල්තාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ලාහෝර් පන්දු යවන්නන් ඉඩ නොතැබූහ. පිත්තෙන් සිය වගකීම ඉටුකළ හෆීස් මුල්තාන් නායක මොහොමඩ් රිස්වාන්ගේ කඩුල්ල දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් පාන්නට විය. මුල්තාන් සුල්තාන් කණ්ඩායමේ මුල්පෙල කඩුලු 5ක් ලකුණු 63ක් වන විටදී දවාගැනීමට ලාහෝර් කැලැන්ඩර්ස් පන්දු යවන්නන්ට හැකිවිය. අනතුරුව හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබදතාවක් ගොඩනගන්නට ටිම් ඩේවිඩ් හා කුෂ්දිල් ශාහ් සමත් විය.

ටිම් ඩේවිඩ් පන්දු 17කදී ලකුණු 27ක් රැස්කිරීමට සමත් වද්දී කුෂ්දිල් ශාහ් පන්දු 23ක් තුළ ලකුණු 32ක් රැස්කළේ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. පන්දුවාර 19 පන්දු 3ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී මුල්තාන් සුල්තාන් කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 138ක් පමණි. පන්දු යැවීමේදී ලාහෝර් කැලැන්ඩර්ස් නායක ශහීන් අෆ්‍රිඩි ලකුණු 30කට කඩුලු 3ක් දවාගත් අතර මොහොමඩ් හෆීස් හා සමාන් ඛාන් කඩුලු 2බැගින් බිදහෙලීය. ඒ අනුව මෙම තරගය ලකුණු 42කින් ජයගනිමින් පළමු වරට පාකිස්තාන සුපිර් ලීග් ශූරතාවයක් හිමිකරගැනීමට ලාහෝර් කැලැන්ඩර්ස් කණ්ඩායමට හැකිවිය. අවසන් මහා තරගයේ වීරයා ලෙසින් මොහොමඩ් හෆීස් සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා ලෙසින් මුල්තාන් සුල්තාන් නායක මොහොමඩ් රිස්වාන් සම්මානයට පාත්‍ර විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ලාහෝර් කැලැන්ඩර්ස් – 180/5
මොහොමඩ් හෆීස් 69
හැරී බෲක්* 41
ඩේවිඩ් වයිස්* 28
අසිෆ් අෆ්‍රිඩි 3/19

මුල්තාන් සුල්තාන් – 138/10
කුෂ්දිල් ශාහ් 32
ටිම් ඩේවිඩ් 27
ශහීන් අෆ්‍රිඩි 3/30
මොහොමඩ් හෆීස් 2/23
සමාන් ඛාන් 2/26