Site icon Sri Lankan Sports TV

බංග්ලාදේශයට එරෙහි තෙවන එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට!!!

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය Chattogramහිදී පැවැත්විණි. ලෝක කුසලාන සුපර් ලීග් වටයට අයත් තරගාවලියක් වූ මෙහි පළමු තරග ද්විත්වයෙහිම ජය හිමිකරගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. අද දිනයේ පැවති තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ නායක ටමිම් ඉක්බාල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශ ඉනීම ආරම්භ කරමින් ටමිම් ඉක්බාල් හා ලිටන් ඩාස් පිටියට පිවිසෙද්දී පළමු කඩුල්ලෙහි සබදතාවය ලකුණු 43කට සීමාකරමින් නායක ටමිම් ඉක්බාල් ලකුණු 11කට දැවී ගියේය. අනතුරුව ශකිබ් අල් හසන් හා ලිටන් ඩාස් එක්ව දෙවන කඩුල්ලට ලකුණු 61ක් එක් කිරීමට සමත් විය. ශකිබ් අල් හසන් පන්දු 36කදී ලකුණු 30ක් රැස්කොට සිටියදී දවාගැනීමට අස්මටුල්ලා ඔමර්සායිට හැකිවිය. කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ලකුණු 7කටත් යසීර් අලි එක් ලකුණකටත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට රශීඩ් ඛාන්ට හැකිවිය.

බංග්ලාදේශ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ලිටන් ඩාස් පන්දු 113ක් තුළ හතරේ පහර 7ක් සමගින් අගනා ලකුණු 86ක් රැස්කිරීමට සමත් විය. නායක මහමදුල්ලා නොදැවී ලකුණු 29ක් රැස්කරද්දී පසුපෙළ සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවන්නට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් ඉඩ නොතැබීය. ඒ අනුව පන්දුවාර 46 පන්දු 5ක් අවසානයේදී සියලු ක්‍රීඩකයන් දැවී බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ ලකුණු 192ක් පමණි. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් රශීඩ් ඛාන් කඩුලු 3ක්ද මොහොමඩ් නබී කඩුලු 2ක්ද බිදහෙලීය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට රියාස් හසන් හා රහ්මනුල්ලා ගුර්බාස්ට හැකිවිණි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක් රැස්කරද්දී ලකුණු 35ක් රැස්කළ රියාස්ගේ ඉනීම නිමාකරන්නට ශකිබ් අල් හසන්ට හැකිවිය. අනතුරුව දෙවන කඩුල්ලට තවත් ලකුණු 100ක් එක් කරන්නට ගුර්බාස් සමගින් එක්වූ රහ්මට් ශාහ්ට හැකිවිණි. රහ්මට් ශාහ් පන්දු 67කදී ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය.

පන්දුවාර 40 එක් පන්දුවක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ ජයග්‍රහණය හිමිකරගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය. විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 110කදී හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහෙදි හසන් මිරාස් කඩුලු 2ක් බිදහෙලීය. මෙම ජයග්‍රහණයත් සමගින් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හැකිවිය. ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙහි පසුවන්නෙ බංග්ලාදේශ කණ්ඩායමයි. ශ්‍රි ලංකා කණ්ඩායම එහි හයවන ස්ථානයෙහි රැදී සිටියි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බංග්ලාදේශය : 192-10 (46.5)
ලිටන් ඩාස් 86, ශකිබ් අල් හසන් 30, මහමදුල්ලා* 29
රශීඩ් ඛාන් 3/37, මොහොමඩ් නබි 2/29

ඇෆ්ගනිස්තානය : 193-3 (40.1)
රහ්මනුල්ලා ගුර්බාස්* 106, රහ්මට් ශාහ් 47, රියාස් හසන් 35
මෙහෙදි හසන් මිරාස් 2/37

Exit mobile version