පිතිකරුවන්ට වැඩි ගෞරව ගෙනදුන් ඕස්ට්‍රේලියා පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය !!!

March 9, 2022
පිතිකරුවන්ට වැඩි ගෞරව ගෙනදුන් ඕස්ට්‍රේලියා පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය !!!

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියට අයත් වූ මෙම තරගය රාවල්පිණ්ඩිහිදී පැවැත්විණි. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් පාකිස්ථාන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ශතක සබදතාවක් ගොඩනැගුහ. පාකිස්ථාන ලකුණු පුවරුව 105ක් ලෙසින් දිස්වන විට ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆික් ලකුණු 44කට දවගන්නට නේතන් ලයන් සමත්විය. අනතුරුව පිටියට එක්වූ අසාර් අලි, ඉමාම් උල් හක් සමගින් එක්ව ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව පිටියේ කදවුරු බැදීම ආරම්භ කළේය. පළමු දිනයට තරගය නිමාවට පත් කරන විට පාකිස්ථාන කණ්ඩයම එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 245ක් රැස්කොට සිටියහ. සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කල ඉමාම් උල් හක් නොදැවී ලකුණු 132ක් රැස්කොට කඩුල්ලේ රැදී සිටියේය.

දෙවන දිනය තුලදී කඩුලු 3ක් පමණක් දැවී තවත් ලකුණු 231ක් සිය ලකුණු පුවරුවට එක්වන තැන ඉනිම අත්හිටුවන්නට පාකිස්ථාන නායකයා තීරණය කළේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක අසාර් අලි හතරේ පහර 15ක් හා හයේ පහර 3ක් සමගින් විශිෂ්ට ලකුණු 185ක් රැස්කිරීමට සමත් වූ අතර මානස් ලබුශේන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය. සිය හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කල ඉමාම් උල් හක් හතරේ පහර 16ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 157ක් රැස් කළේය.

පිළිතුරු ලෙසින් සිය පළමු ඉනිම ඇරබු ඕස්ට්‍රේලියානු පිලද සිය පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 156ක සබදතාවක් ගොඩනැගුහ. ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හතරේ පහර 12ක් සමගින් ලකුනු 68ක් රැස්කළේය. අනෙක් ආරම්භක පිතිකරුවා වූ උස්මාන් කවාජා ශතකය පෙනෙන මානයේදී දැවී යන්නේ ලකුණු 97ක් රැස්කොට සිටියදිය. තරගයේ තෙවන දිනය අවසානයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 271ක් රැස්කොට තිබුණි.

තෙවන දිනයේ රාත්‍රියේදී ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් සිව්වන දිනයේ පළමු අර්ධයේදී තරගය ක්‍රීඩා කිරීමට නොහැකි විය. දිවා විවේකයෙන් අනතුරුව ආරම්භ වූ තරගයේ සිව්වන දිනය අවසානයේදී කඩුලු 7කට ලකුණු 449ක් රැස්කොට සිටියහ. ඊට මානස් ලබුශේන් ලකුණු 90කින්, ස්ටීව් ස්මිත් ලකුණු 78කින් හා කැමරන් ග්‍රීන් ලකුණු 48කින් දායක විය. අවසන් දිනය වූ ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියානුවන්ට තවත් ලකුණු 10ක් පමණක් රැස් කිරීමට හැකිවද්දී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණූ 459කට සිමා විය. පාකිස්ථානය වෙනුවෙන් නෞමන් අලි කඩුලු 6ක් දවාගැනීමට සමත් විය.

සිය දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථාන ආරම්භක පිතිකරු යුගලය ඕස්ට්‍රේලියානු පන්දු යන්වන්නන් වෙහෙසට පත් කරවිය. ඔවුන් දෙදෙනා දිනයේ අවසානය තෙක් පන්දුවට පහර දෙමින් නොදැවුණු ලකුණු 252ක විශිෂ්ට සබදතාවක් ගොඩ නැගුහ. අබ්දුල්ලාහ් ශෆික් නොදැවී ලකුණු 136ක්ද ඉමාම් උල් හක් නොදැවී ලකුණු 111ක්ද රැස් කළේය. ඒ අනුව තරග තුනකින් යුතු තරවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිම විය.

පකිස්ථාන පළමු ඉනිම : 476/4d
අසාර් අලි 187, ඉමාම් උල් හක් 157, අබ්දුල්ලාහ් ශෆික් 44
මානස් ලබුශේන් 1/53, පැට් කමින්ස් 1/62

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම : 459/10
උස්මාන් කවාජා 97, මානස් ලබුශේන් 90, ස්ටීව් ස්මිත් 78
නෞමන් අලි 6/107, ශහින් අෆ්රිඩි 2/88

පකිස්ථාන දෙවන ඉනිම : 252/0
අබ්දුල්ලාහ් ශෆික්* 136, ඉමාම් උල් හක්* 111

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.