පළමු විස්සයි විස්ස තරඟයේ ජය හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

February 25, 2022
පළමු විස්සයි විස්ස තරඟයේ ජය හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ දිනයේදී (24) පැවති පළමු විස්සයි විස්ස තරඟයේ ජය හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරඟය ආරම්භයට පෙර සිටම ආබාධ සහ කෝවිඩ් නිසාවෙන් ක්‍රීඩකයින්ගේ හිඟයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ අතර කළකට පසු ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමක් දකුණත් පා දඟ පන්දු යවන්නෙක් සහ වමත් පා දඟ පන්දු යවන්නෙක් සමඟින් ක්‍රීඩා පිටියට අවතීර්ණ වූහ.

කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හිමි වද්දී සිය පන්දු යැවීමේ අංශයට වඩා පිතිකරණ අංශය පිළිබඳව බලාපොරොත්තු තබා ගනිමින් ප්‍රථමයෙන් පන්දු යොමු කිරීමට දසුන් තීරණය කළේය.

දසුන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කන්ඩායම ලකුණු 199ක දැවන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීමත් මීට ඉවහල් විය. ඉන්දීය නායක රෝහිත් ශර්මා ලකුණු 44ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු ඉශාන් කිෂන් පන්දු 56දී අගනා ලකුණු 89ක් රැස් කරගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් අන්තර්ගත විය. නොම්මර 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ශ්‍රේයාස් අයියර් පන්දු 28දී නොදැවී ලකුණු 57ක් රැස් කරගත් අතර ඔහුගේ ඉනිමට 4 පහර පහක් සහ 6 පහර දෙකක් ඇතුළත් විය.

පන්දු යැවීමෙන් කිසිඳු ශ්‍රී ලංකා පන්දු යවන්නෙක්ට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වූ අතර දසුන් ශානක පන්දුවාර 2දී ලකුණු 19ට එක් කඩුල්ලක් සහ ලහිරු කුමාර සිය පන්දුවාර 4 අවසානයේ ලකුණු 43ට එක් කඩුල්ලක් බිඳ හෙළීය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර නවක පිතිකරුවන් වන කමිල් මිශාර ලකුණු 13ක් සහ ජනිත් ලියනගේ ලකුණු 11ක් රැස් කළහ. උපනායක චරිත් අසලංක නොදැවී ලකුණු 53ක් රැස් කළ අතර දිනේශ් චන්දිමාල් ලකුණු 10ටත් දසුන් ශානක ලකුණු 3ටත් ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකි විය. චාමික කරුණාරත්න ලකුණු 21ක් රැස් කළ අතර දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 24ක් වාර්තා කළේය.

පන්දුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බුවනේශ්වර් කුමාර් ලකුණු 9ට කඩුලු 2ක් බිඳ හෙලූ අතර වෙන්කටේශ් අයියර් කඩුලු 2ක්ද යුස්වේන්දර් චහල් සහ රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැගින් දවාගත්හ. මේ සමඟින් පළමු තරඟයෙන් ලකුණු 62ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.