ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනීමකදී රැස්කළ ඉහළම ලකුණු වාර්තාව අලුත් වෙයි !!!

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ ඉනීමක් තුළ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු පුවරුව වාර්තා කරන්නට බහරේන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඕමානයේදී පැවැත්වෙන GCC කාන්තා විස්සයි විස්ස ශූරතා තරගාවලියේ සෞදි අරාබි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී මෙම වාර්තාව පිහිටුවන්නට බහරේන් කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ අනුව බහරේන් ක්‍රීඩිකාවන් පන්දුවාර විස්ස තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 318ක් රැස්කිරීමට සමත් වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනීමක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි. මින් පෙර එම වාර්තාව උගන්ඩා ක්‍රීඩිකාවන් සතුවූ අතර ඔවුන් මාලි ක්‍රීඩිකාවන්ට එරෙහිව කඩුලු 2කට ලකුණු 314ක් රැස්කොට තිබුණි.

ඊයේ දිනයේදී බහරේන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රි ලංකා හිටපු ක්‍රීඩිකා දීපිකා රසාංගිකා පන්දු 66ක් තුළ හතරේ පහර 31ක් සමගින් නොදැවුනු ලකුණු 161ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉනීමක් තුළ ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද එය පත් විය. බහරේන් කණ්ඩායම් නායිකා තරංගා ගජනායකද පන්දු 56කදී හතරේ පහර 17ක් සමගින් නොදැවී ලකුණු 94ක් රැස්කළාය. මෙම තරගයේදී සෞදි අරාබි ක්‍රීඩිකාවන් විසින් බහරේන් ඉනීමට අතිරේක ලකුණු 50ක් එක් කරන්නට විය.

පිළිතුරු ලෙසින් සෞදි අරාබි ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී රැස්කළේ ලකුණු 49ක් පමණි. සෞදි අරාබි කණ්ඩායමේ කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවන්නට අවකාශය හිමි නොවීය. පිත්තෙන් දස්කම් පෑ දීපිකා රසාංගිකා පන්දුවෙන්ද දස්කම් පාමින් ලකුණු 9කට කඩුලු 3ක් බිදහෙලූයේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි.

(Visited 104 times, 1 visits today)

You Might Be Interested In

Post A Comment For The Creator: slsportsadmin