Site icon Sri Lankan Sports TV

ජයසූරියගේ ප්‍රහාරය පන්දුවෙන් නැවැත්වූ සිම්බාබ්වේ කඩුලු රකින්නා!!!

ලොව පුරා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රභාර දියත් කළ පිතිකරුවන් අතරෙහි ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙසින් සනත් ජයසූරිය හැදින්විය හැකිය. එක්දින තරග ආකෘතිය නව මානයකට ගෙනයන්නට ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ සනත් ජයසූරිය හා රොමේෂ් කලුවිතාරණට හැකි විය. එක්දින තරග රටාවෙහිදී පමණක් නොව ටෙස්ට් තරග ආකෘතිය තුළදීද පන්දු යවන්නන්ට එරෙහිව සිය ප්‍රහාරය දියත් කරන්නට සනත් ජයසූරිය සමත්කම් දැක්වීය. මෙම ලිපියෙන් අවදානය යොමු කරනුයේ ටෙස්ට් පිටියේදී සනත් ජයසූරිය දියත් කළ වේගවත් ඉනීමක් නැවැත්වූ කඩුලු රකින්නෙකු පිළිබදවයි.

2004 වසරේ ශ්‍රි ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට ටෙස්ට් තරග දෙකක් ඇතුළත් විය. ඉන් පළමු තරගය හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙද්දී කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රි ලංකා නායක මාවන් අතපත්තු පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදීමට තීරණය කළේය. ඒ අවසරයෙන් පිටියට පිවිසෙන සිම්බාබ්වේ කණ්ඩායමට සිය පළමු ඉනීම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 199ක් පමණි. සිම්බාබ්වේ ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ප්‍රොස්පර් උට්සෙයා ලකුණු 45ක් රැස්කිරීමට සමත් වද්දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දගපන්දුවේ රජුන් ලෙසින් කිරුලු දැරූ මුත්තයියා මුරලිදරන් සිම්බාබ්වේ ඉනීමේ කඩුලු 6ක් බිදහෙලන්නට විය.

අනතුරුව සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු යුගලය වූ මාවන් අතපත්තු හා සනත් ජයසූරිය පළමු කඩුල්ල වෙනුවෙන් අගනා සබදතාවක් ගොඩනගන්නට විය. පළමු දිනය අවසානයේදී ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 16කට මුහුණ දෙමින් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 67ක් රැස්කිරීමට සමත් විය. දෙවන දිනයේ පළමු අර්ධය තුළදීම සිය ශතකයන් සම්පූර්ණ කරන්නට ශ්‍රි ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයට හැකිවිය. ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරිය පන්දු 90කට පමණක් ක්‍රීඩා කොට හතරේ පහර 13ක් හා හයේ පහර 2ක් සමගින් සිය ශතකය සම්පූර්ණ කරද්දී නායක මාවන් අතපත්තු පන්දු 153ක් තුළ හතරේ පහර 14ක් එල්ල කරමින් සිය ශතකය වාර්තා කළේය.

ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු යුගලය හරාරේ පිටියේ කදවුරු බදිද්දී ලොව ලාබාලතම ටෙස්ට් නායකයා ලෙසින් සිම්බාබ්වේ පිළ මෙහෙයවූ ටටෙන්ඩා ටයිබු සිය කඩුලු රැකීමේ අත් ආවරණ ඉවත් කොට පන්දුව අතට ගන්නට තීරණය කළේය. ටයිබුගේ පන්දුවාරයේ යොමුකළ පළමු පන්දුවටම සනත් ජයසූරියගේ පිත්තෙන් හතරේ පහරක් එල්ල විය. නමුත් ටයිබු යොමුකළ පන්දුවාරයේ තෙවන පන්දුවේදී ජයසූරිය ලබාදුන් උඩපන්දුව රැකගැනීමට ඩග්ලස් හොන්ඩෝ සමත් වන්නේ පන්දු 147ක් පුරාවට හතරේ පහර 19ක් හා හයේ පහර 3ක් සමගින් හැඩවූ ලකුණු 157ක අගනා ඉනීම නිමාවට පත් කරමිනි.

ඒ අනුව 1983 වසරෙන් අනතුරුව කඩුලු රකින්නෙකු ටෙස්ට් තරගයක පන්දු යවා කඩුල්ලක් දවාගත් පළමු අවස්ථාව බවට මෙය පත් විය. ශ්‍රි ලංකා නායක මාවන් අතපත්තු ලකුණු 170ක් රැස්කරමින් ලකුණු පුවරුව ඔසවා තබද්දී පළමු ඉනීමට සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 541ක් රැස්කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 342ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනීම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 102ක් තුළදී දවාගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නට හැකිවිය. වමත් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා ලකුණු 20ක් තුළ ප්‍රතිවාදී කඩුලු 5ක් බිදහෙලූයේ ඉනීමක හා ලකුණු 240ක දැවැන්ත ජයක් ශ්‍රි ලංකා පිළට උරුම කර දෙමිනි.

Exit mobile version