බංග්ලාදේශය පළමු වරට දේදුනු දේශයේදී එක්දින තරග ජයක් වාර්තා කරයි !!!

March 19, 2022
බංග්ලාදේශය පළමු වරට දේදුනු දේශයේදී එක්දින තරග ජයක් වාර්තා කරයි !!!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. ලෝක කුසලාන සුපර් ලීග් තරගවටයට අදාළව සෙන්චූරියන්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 95ක සබදතාවක් ගොඩනැගීය. නායක තමිම් ඉක්බාල් ලකුණු 41ක් රැස්කරද්දී ලිටන් ඩාස් ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය.

කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ලකුණු 9කට දැවී යද්දී ශකිබ් අල් හසන් හා යසීර් අලි සිව්වන කඩුල්ලට ලකුණු 115ක සබදතාවක් ගොඩනගන්නට විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශකිබ් අල් හසන් පන්දු 64ක් තුළ හතරේ පහර 7ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 77ක් රැස්කිරීමට සමත් විය. යසීර් අලි හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 50ක් රැස්කළේය. සෙසු පසුපෙළ පිතිකරුවන් වූ මහමදුල්ලා හා මෙහෙදි මිරාස් ලකුණු 25ක් හා 19ක් බැගින් රැස්කළහ. නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 314ක් රැස්කිරීමට බංග්ලාදේශයට හැකිවිණි. පන්දු යැවීමේදී ලුන්ගි න්ගිඩි දැඩි ප්‍රහාරයකට ලක්වූ අතර කේෂව් මහරාජ් හා මාර්කෝ ජන්සෙන් කඩුලු 2 බැගින් බිදහෙලන්නට සමත් විය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුල්පෙල කඩුලු 3ක් ලකුණු 36ක් තුළ බිදවැටුනි. අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් නායක ටෙම්බා බවුමා හා රසී වැන් ඩර් ඩුසේන් එක්ව ලකුණු 85ක සබදතාවක් ගොඩනැගූහ. නායක ටෙම්බා බවුමා ලකුණු 31ක් රැස්කළේය. ඩේවිඩ් මිලර් හා වැන් ඩුසේන් අතර පස්වන කඩුල්ලට ලකුණු 70ක සබදතාවක් ගොඩනැගෙද්දී ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ රසී වැන් ඩර් ඩුසේන් පන්දු 98ක් තුළ හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමගින් අගනා ලකුණු 86ක් රැස්කළේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඩේවිඩ් මිලර් වේගවත් පිතිහරඹයක් දියත් කළද එම උත්සාහය පලක් නොවූයේ 46වන පන්දුවාරයේදී මිලර් දැවීයාම නිසාවෙනි. ඩේවිඩ් මිලර් පන්දු 57ක් තුළ හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් සමගින් වේගවත් ලකුණු 79ක් රැස්කළේය. කේෂව් මහරාජ් හා ලුන්ගි න්ගිඩිද පිළිවෙලින් ලකුණු 23හා 15 බැගින් රැස්කලද පන්දුවාර 48 පන්දු 5ක් අවසානයේදී දකුණු අප්‍රිකානු ඉනීම ලකුණු 276කට සීමා විය. ඒ අනුව දකුණු අප්‍රිකාව තුළදී පළමු වරට එක්දින තරග ජයග්‍රහණයක් හිමිකරගැනීමට බංග්ලාදේශය සමත්විය. බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී මෙහෙදි මිරාස් කඩුලු 4ක් හා ටස්කින් අහමඩ් කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. තරගයේ වීරයා ලෙසින් ශකිබ් අල් හසන් සම්මාන ලැබීය.

බංග්ලාදේශය : 314/7 (50)
ශකිබ් අල් හසන් 77, ලිටන් ඩාස් 50, යසීර් අලි 50
කේෂව් මහරාජ් 2/56, මාර්කෝ ජන්සෙන් 2/57

දකුණු අප්‍රිකාව : 276/10 (48.5)
රසී වැන් ඩර් ඩුසේන් 86, ඩේවිඩ් මිලර් 79, ටෙම්බා බවුමා 31
මෙහෙදි හසන් මිරාස් 4/61, ටස්කින් අහමඩ් 3/36, ශෝරිෆුල් ඉස්ලාම් 2/47

Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV

Welcome to Sri Lankan Sports TV! Please enter your credentials to access exclusive sports content and live broadcasts.

Lost your password? Please enter your email address. You will receive mail with link to set new password.