Site icon Sri Lankan Sports TV

ඉතිහාසයේ අද වැනි දිනක කෙන්යානුවන් හමුවේ ලද අමිහිරි පරාජය !!!

2003 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයකදී ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම මුණ ගැසුනි. සනත් ජයසූරිය, මාවන් අතපත්තු, අරවින්ද සිල්වා, චමින්ද වාස් , මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රිකට් ලොව නම් දැරූ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ එතෙක් මුහුණ දුන් තරග ත්‍රිත්වයම ජයගෙන තිබූ නිසාවෙන් මෙම තරගයට අවතීර්ණ වූයේ ජයග්‍රාහී මානසිකත්වයෙනි. එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රි ලංකා කණ්ඩායම හා කෙන්යානු කණ්ඩායම ඉන් පෙර මුණගැසුනු තරග ද්විත්වයම ජයගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්ව තිබු නිසාවෙන් මෙම තරගය පරාජයට පත් වේ යයි කිසිදු ශ්‍රි ලංකා ක්‍රීඩකයෙකු හෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු නොවන්නට ඇත.

කාසිය වාසිය දිනූ ශ්‍රීලංකා නායක සනත් ජයසූරියගේ ආරාධනය පිලිගෙන පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෙන්යානු කණ්ඩායමේ පලමු කඩුල්ල සුපුරුදු පරිදිම පලමු පන්දුවාරයේදී දවාගන්නට චමින්ද වාස් සමත් විය. පලමු කඩුල්ල එසේ දැවී ගියද කෙන්යානු කඩුලු රකින්නා වූ කෙනෙඩි ඔටියෙනෝ අනික් පිතිකරුවන් සමගින් එක්ව සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහල නංවන්නට විය. කෙන්යානු ඉනීමේ සිව්වන කඩුල්ල ලෙසින් ලකුණු 60ක් ලබා සිටි ඔටියෙනෝගේ ඉනීමට නැවතීමේ තිත තබන්නට අරවින්ද සිල්වා සමත් විය. කෙන්යානු කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට ලකුණු 210ක් ලෙස දිස්වද්දී කණ්ඩායමේ අනික් වැඩිම ලකුණු ලාභීන් වූ හිටේෂ් මෝඩි හා මොරිස් ඔඩුම්බේ ලකුණු 26 බැගින් රැස්කළහ. පන්දුයැවීමේදී මුත්තයියා මුරලිදරන් ලකුණු 28කට කඩුලු 4ක්ද හා චමින්ද වාස් ලකුණු 41කට කඩුලු 3ක්ද බිදහෙලන්නට සමත් විය.

ප්‍රභල පිතිකරණ බලඇණියකින් සමන්විත වූ ශ්‍රීලංකා කණ්ඩායමට මෙම ලකුණු 211 හබායෑම ඉතා අසීරු කාර්යක් බවට පත්කරන්නට කෙන්යානු පන්දු යවන්නන් වගබලාගත්හ. ශ්‍රීලංකා නායක සනත් ජයසූරිය ලකුණු 3කට දැවීයද්දී මාවන්, හෂාන් හා අරවින්ද ශ්‍රීලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ දැරීය. මාවන් හා හෂාන් ලකුණු 23 බැගින් ලබා සිටියදී දවාගන්නට කොලින්ස් ඔබුයා සමත් වූ අතර සංගක්කාර හා මහේල දෙපලද ලකුණු 5කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඔබුයා සමත් විය. ඔබුයා යොමුකල පන්දුවකට කට් පහරක් එල්ල කිරීමට යාමේදී අරවින්ද සිල්වාගේ පිත්තේ පන්දුව දැවටුනු බවට කඩුලු රකින්නා විසින් සිදු කළ ඉල්ලීම තහවුරු කළ රසෙල් ටිෆින් විනිසුරුවරයා එය දැවීයාමක් ලෙස සටහන් කලේය. එනමුත් එකල DRS ක්‍රමය භාවිතා වූයේ නම් එම දැවීයාම වෙනුවෙන් රිවිව් අවස්ථාවක් ලබාගැනීමට අරවින්ද සිල්වා දෙවරක් නොසිතන බව නොඅනුමානය. අරවින්දගේ දැවීයාමෙන් පසු රසල් ආනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සාහ කලද අනෙක් අන්තයේ පිතිකරුවන් දැවීගිය නිසාවෙන් එම උත්සහයෙන් පලක් නොවීය. පන්දුවාර 45ක් අවසානයේදී ශ්‍රී ලාංකා ඉනීම ලකුණු 157කට සීමා කිරීමට කෙන්යානු පන්දු යවන්නන් සමත් වූයේ ප්‍රථම වතාවට එක්දින තරගයකදී ශ්‍රී ලංකාව පරාජයට පත් කරමිනි. පන්දුවාර 10කදී ලකුණු 24කට ශ්‍රීලංකා ඉනීමේ කඩුලු 5ක් බිද හෙලූ කොලින්ස් ඔබුයා තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව

කෙන්යානු කණ්ඩායම – 210/9 පන්දුවාර 50දී
කෙනෙඩි ඔටියෙනෝ 60(88), මොරිස් ඔඩුම්බේ 26(44)
මුත්තයියා මුරලිදරන් 4/28, චමින්ද වාස් 3/41

ශ්‍රි ලංකා කණ්ඩායම – 157/10 පන්දුවාර 45දී
අරවින්ද ද සිල්වා 41(53), රසල් ආනල්ඩ් 25(37)
කොලින්ස් ඔබුයා 5/24, ස්ටීව් ටිකොලෝ 2/13

Exit mobile version